
පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තය කේන්ද්‍ර කරමින් සිදු වන ත්‍රස්තවාදී ප්‍රහාරමාලාව දැඩි සේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කැර තිබේ.
පසුගිය දා ත්‍රස්තවාදී ප්‍රහාරයකින් සිවිල් වැසියන් 31ක් ඇතුළුව 48 දෙනකුට මරු කැඳවූ එම ප්‍රහාරමාලාව ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාවට ඇති තර්ජනයක් බවත්, එවැනි ත්‍රස්ත ක්‍රියා සඳහා වගකිව යුතු පාර්ශ්ව නීතිය හමුවට පමුණුවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරමින් කියා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
පාකිස්තාන රජයට එරෙහිව බලුකිස්තානයේ සන්නද්ධ කණ්ඩායම්වල නැඟී සිටීමට හේතු වී ඇත්තේ දිගුකාලයක් පුරා එම ප්‍රාන්තයේ ජනතාව මත පටවා ඇති පීඩනය සහ මර්දනකාරී ක්‍රියාමාර්ග බව අනාවරණය වෙයි.

පාකිස්තාන රජයේ හමුදා එම ප්‍රාන්තයේ සිදු කරන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, නීති විරෝධී ඝාතන, සාමකාමි විරෝධතා මර්දනය ඇතුළු ක්‍රියාකාරකම් සම්බන්ධව එම ව්‍යාපාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු සංවිධාන රැසකට පැමිණිලි කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
වසර 2011 සිට මේ දක්වා බලුකිස්තාන ප්‍රාන්තයේ පුද්ගලයන් දසදහසකට අධික පිරිසක් අතුරුදන් වී ඇතැයි පසුගියදා ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
බලුකිස්තානයේ ක්වේටා අගනුවර ඇතුළු නගර 14ක ස්ථාන 48ක සිදු වු එම ප්‍රහාරමාලාවේ වගකීම බලුකිස්තාන විමුක්ති හමුදාව බාරගෙන ඇත. එම සංවිධානයේ සාමාජිකයන් 177 දෙනකු පාකිස්තාන රජයේ හමුදාව ඝාතනය කැර ඇති බව නිවේදනයක සඳහාන් වේ.
