
නිරිතදිග බංග්ලාදේශයේ මගී ප්‍රවාහන බස් රථයක් ගඟකට පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අතුරුදන් වී ඇත.
මෙම අනතුර පෙරේදා (25) සවස 5.15 ට පමණ රාජ්බාරි දිස්ත්‍රික්කයේ ඩවුලාඩියා තොටුපොළ පර්යන්තයේදී සිදු වී ඇති බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි.
ඩකා නගරය බලා ගමන් කළ මෙම බස් රථය ළමුන් ඇතුළු මගීන් 40 දෙනෙකු රැගෙන යමින් සිටියදී පොන්ටූන් මත සිට ගඟට වැටී ඇත. බොහෝ දෙනා ඊද් නිවාඩුවෙන් පසු අගනුවරට ආපසු යමින් සිටි බව සඳහන් වේ.
ගලවා ගැනීමේ කණ්ඩායම් මළ සිරුරු 24ක් සොයාගෙන ඇති අතර, එයින් 22ක් බස් රථය තුළින් සොයා ගෙන තිබේ. මියගියවන් අතර කාන්තාවන් 11 දෙනෙකු, පිරිමින් 6 දෙනෙකු සහ ළමුන් 5 දෙනෙකු ඇතුළත් බව නිලධාරීහු පවසති.
ගිනි නිවන සේවා නිලධාරියෙකු වන සොහෙල් රානා පැවසුවේ “හම්සා” නමින් හැඳින්වෙන ගැලවීමේ යාත්‍රාවක් දොඹකර උපකරණ භාවිතයෙන් බස් රථය සොයාගෙන ඇති බවයි.
රළු කාලගුණය මධ්‍යයේ පැය 6කට අධික ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කළ අතර, මධ්‍යම රාත්‍රියේදී බස් රථය ජලයෙන් ඉවත් කැර ගෙන තිබේ.
මේ අතර, මගීන් 11 දෙනෙකු පමණ ගොඩබිමට පිහිනීමෙන් දිවි රැකගෙන ඇති බවත්, තවත් පිරිසක් තවමත් අතුරුදහන් බවත් සඳහාන් වේ. ( දිනමිණ ඇසුරෙන් )
