
වතුකරයේ අවිවාහක දෙමළ තරුණයකුට පහර දුන් පොලිස් නිලධාරිනියක් ඔහුට ලිංගික හිංසනයක් කරන බවට තර්ජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කොට ඇත.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඉහළම පොලිස් හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තා කැඳවා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විමර්ශනය ආරම්භ කොට ඇත්තේ තලවාකැලේ පොලිසියේ දී 23 හැවිරිදි ශන්මුගනාදන් යුවරාජ් නැමති තරුණයා වධහිංසාවට ගොදුරු කැර ගැනීම සම්බන්ධයෙනි. ‘ගුදයට විකට් පොල්ලක් බස්සන’ බවට පොලිස් කාන්තාවක් පහර දී තර්ජනය කළේ යැයි තරුණයා කළ පැමිණිල්ලේ දැක්වේ.
“අපිට දැන ගන්න ලැබිලා තියෙනවා මේ පොලීසියේ දී තරුණයාට සිදු වුණු පහර දීමක් නිසා ඇති වු අසනීප තත්ත්වයක් මත රෝහල් ගත වුණා කියලයි. දැනට අපි මේ සම්බන්ධයෙන් තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙනුයි, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙනුයි වාර්තා කැඳවලා තියෙනවා. ඒ වාර්තා ලැබුණට පස්සේ තමයි මේ සිදුවීමට කවුද වග කියන්න ඕනේ කියලා විමර්ශනය කරන්නේ,” යි කොමිසමේ හැටන් ප්‍රාදේශීය කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරිනී කුමුදිනී විතාන පැවසුවාය.
හිතවත්කම් වෙනුවෙන් වධහිංසා
ජා ඇළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු මෙම තරුණයා පහර කෑමට ලක්ව ඇත්තේ පෞද්ගලික ආරාවුලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පියා සමඟ පෙබරවාරි 23 වැනි දින තළවකැලේ පොලීසිය වෙත ගිය අවස්ථාවේදී ය. යුවරාජ් පවසන්නේ පොලිස් ස්ථානයේ අසුන් ගෙන සිටියදී එහි සිටි නිලධාරියකු ලද දුරකතන ඇමතුමකින් අනතුරුව පොලිස් නිලධාරිනියක් තමන්ට පහරදී වධහිංසා සිදු කළ බවකි.
” මට විරුද්ධව පැමිණිලි දාපු ගෑණු ළමයගේ තාත්තා පොලිසියට ඇවිත් විනාඩි පහකට විතර පස්සේ කොත්මලේ OIC කියලා බෙල්ට් එකක් දාපු මහත්තයාට කෝල් එකක් අරන් දුන්නා . OIC කතා කරනාවා කිවුවට පස්සේ එයා කතා කළා. ඊට පස්සේ සිංහල කතා කරන පොලිස් නෝනා කෙනෙක්ට ඇහෙන් සිග්නල් කරපුවාම එයා එක පාරම මගේ ළඟට ඇවිත් ප්‍රශ්න අහන්නත් කලියෙන් කණටයි, ඔළුවටයි ගැහුවා,” යි පවසන හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි කරනු ලද හොත් ‘බොරු නඩුවක් දමා හිරේ යවන බවට’ එම නිලධාරිනිය තමන්ට තර්ජනය කළ බවයි.
‘අඛණ්ඩව සිද්ධ වෙනවා’
මෙම අනීතික ක්‍රියාව සම්බන්ධයෙන් කොමිසමට ලද පැමිණිල්ලක් මත මූලික විමර්ශනයන් ආරම්භ කොට ඇතැයි පවසන මානව හිමිකම් කොමිසම් සභාවේ හැටන් ප්‍රාදේශීය කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරිනිය, ආයතනගතව ඇති පොලිස් වධහිංසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කර සිටියාය.
ලැබුණු දුරකතන ඇමතුමකට අනුව පොලිස්ථානයේ සිටි යම් නිලධාරියෙකුගේ වුවමනාව මත තමන්ට වධහිංසා සිදු කළ බවට අදාළ වින්දිත තරුණයා විසින් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරයා කුමක්දැයි විමසීමේදී ඇය විසින් අවධාරණය කරනු ලැබුයේ එවැනි ආකාරයේ මැදිහත්වීම් තවමත් අඛණ්ඩව පොලිස් ස්ථාන තුළ සිදුවන බව බැහැර කළ නොහැකි බවයි.
” ඇත්තටම එහෙම දේවල් සිදු වෙන්නේ නෑ කියන්න බැහැ. මොකද අපේ රටේ පොලීසිවල තත්ත්වය තවමත් වෙනස් වෙලා නෑ. විශේෂයෙන්ම මේ වගේ පලාත්වල නීතිය ක්‍රියාත්මක වෙනවට වඩා සිද්ධ වෙන්නේ යම් බාහිර පුද්ගලයකුගේ හරි පාර්ශ්වයක හරි මැදිහත්වීමේන් ඉහළ නිලධාරින්ට කතා කරලා තමන්ට අවශ්‍ය ආකාරයට පරික්ෂණ මෙහෙයවා ගන්න එක තමයි. තමන්ට විරුද්ධ පුද්ගලයෙකුට නම් මේ විදිහට හිරිකර කරනවා .නැත්නම් තමන්ට වාසි වෙන විදිහට පැමිණිල්ල හරි චෝදනාව හරි හසුරනවා.ඇත්තටම මේක වැරදි දෙයක්,” යැයි පැවසු ඇය වැඩිදුරටත් පවසා සිටියේ මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේ සුවිශාල කාර්ය භාර්යයක් තිබෙන බවයි.
ගැහුවා කිවුවොත් හිරේ දානවා
වධහිංසාවට ලක් වු යුවරාජ් සහ ඔහුගේ පියා පවසන්නේ පොලිසීය විසින් පහර දුන් බව හෙළි නොකරන ලෙස බලකරමින් පොලිසියෙන් මෙන්ම රෝහලින්ද තර්ජනාත්මක බලපෑම් කෙරුණු බවයි.
“26 වැනි දා පුතාව ගෙදර එක්කගෙන ආවට පස්සේ රෑ එයාට අසනීප වුණා. ක්ලාන්තය, වමනේ යන එක තිබුණා. පස්සේ අපි පුතාව නුවරඑළිය ඉස්පිරිතාලෙට අරන් ගිහින් නතර කෙරෙව්වා. මාර්තු 01 වැනි දා ගෙදර අරන් ආවට පස්සේ ආයෙම අසනීප වුණා. එතකොට තමයි පුතා කිවුවේ එයාට පොලිසියෙන් ගැහුවා, ගෙදර අයට හරි වෙන කා එක්ක හරි කියලා තිබුණොත් හිරේ දානවා කියලා බය කරපු බව,” යි තරුණයාගේ පියා වන වන එස්. ශන්මුගනාදන් පැවසීය.
අප විසින් මේ සම්බන්ධයෙන් පොලිස් පහර දීමට ලක් වු යුවරාජ්ගෙන් විමසා සිටි විට ඔහුද පවසා සිටියේ තමන්ට පහර දුන් පොලිස් නිලධාරිනිය සහ පොලිසියේ සෙසු අයගේ තර්ජන හේතුවෙන් සිදු වු සියලු දේ මුල් අවස්ථාවේදි කිසිවකුටත් පැවසීමට බිය වූ බවයි.
” මාර්තු හතරවැනි දා මට ආයෙම අමාරු වුණා. ඇස් පේන්නේ නැතුව කැරකැවෙන්න ගත්තා. ඊට පස්සේ ගෙදරින් මාව ආයෙම නුවරඑළිය ඉස්පිරිතාලෙට අරන් ගිහින් නතර කෙරෙවුවා”.
දෙවැනි වාරයේ දින තුනක් තමන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු බවත් ඒ දින තුන තුළදීම රෝහලේ ඇතැමුන් හිරිහැරකාරී ලෙස හැසිරෙමින් බලහත්කාරයෙන් රෝහලෙන් පිට කිරීමට උත්සාහ දැරු බවත් තරුණයා චෝදනා කරයි.
රෝහලෙන් හිරිහැර
” ඉස්පිරිතාලෙන් මට කිවුවෙම අසනීපයක් නෑ කියලයි. මම ඉස්පිරිතාලේ ඉන්න කොට කිහිප වතාවක්ම පොලිසියෙන් ඇවිත් සැරෙන් කතා කරලා ටිකට් කපා ගෙන ගෙදර පලයන් කිවුවා. උඹට පොලිසියෙන් ගැහුවේ නෑ කියපන් කියලා මට තර්ජනය කළා,”යි යුවරාජ් පැවසීය.
යුවරාජ් පවසානාකාරයට ඔහු අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට ලක් කොට තිබෙන්නේ ද රෝහලෙන් පිට වූ දවසේ අවසන් පැය කිහිපයේ දීය. ඒ වන විටත් රෝහල් කාර්ය මණ්ඩලයේ විවිධ අය ඔහුට රෝහලින් පිටවී යන ලෙස තර්ජනය කරමින් සිටි බවද හෙතෙම කීය.
යුවරාජ්ගේ පියා වන ශන්මුගනාදන් පවසන්නේ තමන් මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිසාව භාර සහකාර පොලිස් අධිකාරි හමුවී පැමිණිලි කළ බවත්, පසුව එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ගැනීමට රෝහලට ගිය පොලිස් නිලධාරියකු විසින් ද සිය පුත්‍රයා බිය ගන්වා තර්ජනය කැර ඇති බවත් ය.
අප විසින් කරන ලද සොයා බැලීමකදී සහ වින්දිත පාර්ශ්වයේ කරුණු දැක්වීම අනුව ද දැන ගන්නට ලැබුණේ අදාළ තරුණයා සමඟ මිතුරුව සිටි කොත්මලේ ප්‍රදේශයේ තරුණියකගේ දෙමාපියන්ගේ වුවමනාව මත එම පොලිස්ථානයේ ඉහළ නිලධාරියකුගේ බලපෑමක් හේතුවෙන් තලවකැලේ පොලිසියේ නිලධාරින් විසින් මෙම පහර දීම සැලසුම් කොට ඇති බවකි. අදාළ පහර දීම සහ වධහිංසා සිදුවන අවස්ථාවේදී එම තරුණියගේ දෙමාපියන් ද තලවකැලේ පොලිස්ථානයේ ම සිට ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයට අවනත නැති පොලිසියක්
සැකකරුවන්ට සහ අත්අඩංඟුවට ගනු ලබන්නන් ට එරෙහිව වධහිංසාවන් සිදු කිරීම සම්බන්ධයෙන් ඉතා අපකීර්තිමත් අඛණ්ඩ ඉතිහාසයකට ශ්‍රි ලංකා පොලිසිය ප්රමුඛ සමස්ත ආරක්ෂක අංශ පද්ධතියම උරුමකම් කියනු ලබන අතර, අවස්ථා ගණනාවකදීම මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පවා විවිධ නඩු තීන්දු සහ නෛතික අර්ථකතන ඔස්සේ ඒ ඒ කාලවකවානුවල සිටි පොලිස්පතිවරුන්ට නියෝග කරනු ලැබුවේ සැකකරුවන්ට වධහිංසා පැමිණ වීම නතර කොට එය පසු විපරමක් කිරීම සඳහා අවශ්‍ය නිසි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙසයි .
එමෙන්ම පොලිස්ථානයක සිදුවන වධහිංසා සම්බන්ධයෙන් අදාළ පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා හෝ කාර්භාර්ය නිලධාරියා සෘජුවම වගකිව යුතු බවටත් පොලිස්පති ලේඛණවල මෙන්ම 1994 අංක 22 දරන වධදීමට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනතේ ත් සඳහන් වෙයි.
(Source- The Leader)
