Impartial news reporting for a stronger democratic society
“පිරමීඩ” මූල්‍ය වංචාවල නිරත වු චින්නු 16ක් කොළඹ දී අත්අඩංගුවට

වීසා කාලය ඉක්මවා ගොස්  තිබියදී  මෙරට රැඳී සිටිමින් නීති විරෝධී මාර්ගගත “පිරමීඩ” මූල්‍ය වංචාවල  නිරත වු බවට චෝදනා එල්ල වී ඇති චීන ජාතිකයන් 16 දෙනකු කුරුඳුවත්ත පොලිසිය  පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. සුජීව කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් කොළඹ 05 හි තාවකාලික නිවෙසක නැවතී  සිටි මෙම චීන ජාතිකයන්   පිරිස  අත්අඩංගුවට  ගෙන ඇත.

සැකකරුවන් දින කිහිපයකට පෙර එම පරිශ්‍රයට පැමිණ ඇති බව සඳහාන්ය. මෙහෙයුම අතරතුර, සැක සහිත වංචනික ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණ සැලකිය යුතු ප්‍රමාණයක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ලැප්ටොප් පරිගණක 23 ක්, ජංගම දුරකථන 11 ක්, රවුටර හතක් සහ හඬ පරිවර්තන උපාංග නවයක් ද ඒ අතර  තිබී ඇත.

රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස රටට ආනයනය කළ බවට සැක කෙරෙන විදේශීය සිගරට් කූරු 3,280 ක් ද නිලධාරීන් සොයා  ගෙන ඇත.

මූලික පරීක්ෂණවලින් හෙළි වූයේ පිරිමි සැකකරුවන් 16 දෙනා විදේශ රටවල පුද්ගලයන් ඉලක්ක කැර ගනිමින් වංචනික පිරමීඩ ආයෝජන යෝජනා ක්‍රමවලට ඔවුන් පොළඹවා ගැනීමට උපකරණ භාවිතා කරන බවයි.

සැකකරුවන් ඔවුන්ගේ අවසර ලත් වීසා කාල සීමාවන් ඉක්මවා රට තුළ රැඳී සිටීමෙන් දේශීය ආගමන නීති උල්ලංඝනය කැර ඇති බව පොලිසිය සඳහන් කෙළේය.

ජාත්‍යන්තර ජාලයේ සම්පූර්ණ පරිමාණය සහ වංචාවේ සමස්ත මූල්‍ය බලපෑම තීරණය කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු වෙමින් පවතී.

Follow by Email
LinkedIn
Share
WhatsApp