Impartial news reporting for a stronger democratic society
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම: හේමසිරි ට එරෙහි නඩුවේ තීන්දුව ජුලි 31වැනිදා

බෝම්බ ගහන බව දැනගෙනත් නිහඬව සිටි අය නිදැල්ලේ, ඇත්ත කියපු හේමසිරි විතරක් පව් ගෙවනවා” -විත්තියේ ජනාධිපති නීතිඥවරයාගෙන් දැඩි ප්‍රකාශයක්


ලැබුණු තොරතුර තහවුරු නොකළ බුද්ධි තොරතුරක් බව නිලන්ත ජයවර්ධන පැවසූ බව විත්ති කූඩුවේ සාක්ෂිවලින් අනාවරණය වෙයි

විත්තිවාචක නොකැඳවා නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අභියාචනයේ දීර්ඝ නඩු විභාගය අවසන්

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් විත්ති කාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ තීන්දුව ජූලි මස 31 දින ප්‍රකාශයට පත් කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කෙළේය.

 පැමිණිල්ල සහ විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් වාචික දේශන ඉදිරිපත් කිරිම අවසන් කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කෙරුණි.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුණි.

එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරල විත්තියේ දේශනය වැඩි දුරටත් ඉදිරිපත් කෙළේය.

“මෙය තහවුරු නොකළ බුද්ධි තොරතුරක් බව නිලන්ත ජයවර්ධන තමන් ට ප්‍රකාශ කළ බව විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශය නිලන්ත ජයවර්ධන මූලික සාක්ෂියේදී තහවුරු කළා. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුර බුද්ධි තොරතුරක් ලෙස වර්ධනය වී නැති බව එහිදී නිලන්ත කියලා තියෙනවා.

බුද්ධි සමාලෝචන රැස්වීමේ දී හැමෝම කරුණු දක්වලා ඉවර වුණාම විත්තිකරු ඒ තොරතුර ගැන අහනවා. එතකොට තමයි එය තහවුරු කර නොගත් තොරතුරක් බව කියන්නේ.

මේ තොරතුර ගැන අනිත් අයව දැනුවත් කරන ලෙස සිසිර මෙන්ඩිස් ට දැනුම් දුන්නා. එහෙත් නිලන්ත ජයවර්ධන පොලිස්පතිට දැනුම් දීමක් කරන්නේ සැර බාල කරලා.

මේ  නඩුවේ චෝදනා 755ක් තිබෙනවා.  විත්තිකරුට තියෙන්නේ අනුබල දීම. අපරාධනඩු විධාන සංග්‍රහ අනුව ඕනෑකමින් ආධාර අනුබල දිය යුතුයි. හේමසිරි ප්‍රනාන්දු ට මිනීමැරුම් චෝදනා එල්ල වී නෑ. එම චෝදනා එල්ල වූ අය සමඟ කිසිම අවස්ථාවක කිසිම සම්බන්ධයක් විත්තිකරු ට තිබූ බව කොහේවත් කියලා නෑ.

හදිසි නීතිය පනවා හමුදාව කැඳවීමේ බලයක් ආරක්ෂක ලේකම් ට නෑ.

 “ස්වාමීනී, ගහන බව දැනගෙන හිටියා. මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා විත්තිකරු මාධ්‍යයට කළ ප්‍රකාශය ගැන සඳහන් කළා. හේමසිරි ප්‍රනාන්දු කිව්වාම තමයි හැමෝම දැනගත්තේ මෙහෙම බුද්ධි තොරතුරු ආව බව. නිලන්ත ජයවර්ධන, සිරිසේන කිව්වෙත් නෑ. බෝම්බ ගහනවා කියලා තාත්තා කිව්වා කියලා මන්ත්‍රී කෙනෙක් කිව්වෙත් ඊට පස්සේ. මේ විත්තිකරු විතරයි ඒ ගැන කිව්වේ. ඒ කියපු පව් තමයි මේ ගෙවන්නේ.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහාන් කෙළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා සදහන් කෙළේ තොරතුරු දැන ගෙන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බරපතල නොකර හැරීමක් සිදු කර ඇති බව යි.

එම නොකර හැරීම වෙනුවෙන් ඔහුට  දඩුවම් ලබා දිය යුතු බව පැමිණිල්ල ස්ථාවරය වන බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේය.

එම කරුණු දැක්වීමෙන් අනතුරුව නඩු විභාගය අවසන් කිරීමට අධිකරණය තීරණය කෙළේය

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරුම් සිදු කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට පොලිස්පති ව සිටි පූජිත ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව අධිචෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ වෙන් වෙන් ව නඩු පවරා තිබුණි.

එම නඩු නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනු අතර පැමිණිලි දෙකේම සාක්ෂි අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමෙන් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීම ට නියම විය.

2021 පෙබරවාරි මස 18 වැනිදා ප්‍රකාශට පත් කළ එම මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ නඩු තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අභියාචන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේ ඉන් අනතුරුව යි.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් මෙම අභියාචන පෙත්සම් වල තීන්දුව එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන 2024/11/05 දින අදාළ මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපති වරයා ගොනුකළ අභියාචන පෙත්සම් දෙකක් පිළිගැනීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළ බව සදහන් කෙළේ ය.

ඉතා සංකීර්ණ සිදුවීම් මාලාවක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක විත්තිවාචක නොකැඳවා විත්තිකරුවන් නිදහස් නොකළ යුතු බව අධිකරණයේ මතය බවද , මහාධිකරණය විසින් විත්ති වාචක කැඳවිය යුතු ව තිබූ බව ද තීන්දුවෙහි සඳහන් විය.

එබැවින් විත්තිවාචක කැඳවීමෙන් තොරව 2022 පෙබරවාරි මාස 18 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දෙන ලද නඩු තීන්දුව නිෂ්ප්‍රභ කිරීමට නියම කළ අතර එම මහාධිකරණ නඩුවට අදාළව විත්ති වාචක කැඳවීම ට කටයුතු කරන ලෙස මහාධිකරණ විනිසුරු මඩුල්ල ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්තිකරුවන් අධිකරණයට කැඳවීමෙන් අනතුරුව 2024/11/05 වැනි දින දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සභාපති විනිසුරුවරයා විසින් කියවා දෙන දෙන ලදි.

අනතුරුව තමන් විත්තිවාචකයක් ඉදිරිපත් කරන බව හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේ ය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විත්තිවාචකය ඉදිරිපත් කරමින් සඳහන් කලේ මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන සිටි අය තවමත් නිදැල්ලේ සිටින බවයි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ සාක්ෂිකරුවෙකු ලෙස ශානි අබේසේකර අධිකරණයට කැඳවා සිටියත් ඔහු පෙනී සිටියේ නැත.

 අනතුරුව විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරළ පසුව සඳහන් කර සිටියේ තමන් විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද සාක්ෂි ලැයිස්තුවේ පළවෙනි සාක්ෂිකරු ලෙස නම් කර සිතාසි නිකුත් කර සිටි ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව ඉදිරිපත් කර ඇති දිව්රුම් පෙත්සමක් ගොනු කර ඇති බවට පිළිගන්නේ නම් සාක්ෂිකරුවන් කැඳවීමකින් තොරවම නඩුව අවසන් කිරීමට කටයුතු කරන බවයි.

අනතුරුව එම දිව්රුම් ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මීට පෙර සාක්ෂි ලබා දීමක් සිදු කළාය.

ඉන් අනතුරුව විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් වන විත්තියේ ලිඛිත දේශන මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
‘ද ලීඩර්’ අධිකරණ වාර්තාකාරිනී

Follow by Email
LinkedIn
Share
WhatsApp