Impartial news reporting for a stronger democratic society
පාස්කු ඉරු දින ප්‍රහාර නඩුව: චුදිත ඊබ්‍රහිම්ගේ රන්, මැණික් ඇතුළු දේපොළ මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

පාස්කු ප්‍රහාරය දා දෙමටගොඩ ඊබ්‍රහිම්ගේ නිවෙසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ ඇතුළු දේපොළ සතියක් ඇතුළත  මුදා හැරිමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කැර ඇත.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිදු වූ අවස්ථාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වූ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස්හි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවෙසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ මැණික් ඇතුළු දේපොළ ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් යන අයට සතියක් ඇතුළත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙළේය.
පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කැර ඇත්තේ විරෝධතා ගොනු කිරීමට සාධාරණ කාලයක් ලබාදීමෙන් අනතුරුව බව කී මහේස්ත්‍රාත්වරයා, එසේ නොකරන්නේ නම් අධිකරණයට අගෞරව කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නෛතික පියවර ගන්නා බවද කීවේය.
පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් සිදුකරමින් මියගිය ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්, දෙමටගොඩ නිවෙසේ පිපිරී ගිය බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් දෙදෙනගේ සොහොයුරු සහ දෙමටගොඩ නිවෙසේ පිපුරුණු බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිය වන ජිෆ්රි ෆාතිමා යන අයගේ මස්සිනා වන ඉෆ්ලාල් අහමඩ් යන අය එම භාණ්ඩ තමන්ට අයත් බවත් එම භාණ්ඩ මුදාහරින ලෙසත් නීතිඥවරයෙකු මාර්ගයෙන් සිදු කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝගය සිදු කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.
පූර්වගාමී මහේස්ත්‍රාත්වරයෙක් සිදුකළ නියෝගයක් සම්බන්ධයෙන් තවත් විනිසුරුවරියක් වාර්තාවක් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් සිදු කැර ඇතත්, එම නියෝගයත් නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කැර ඇති බව කී මහේස්ත්‍රාත්වරයා, සතියක් තුළ එකී භාණ්ඩ මුදා හරින ලෙසට නියෝග කර සිටියේය.
“මෙම නියෝගය සිදු කිරිමට පෙර පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා දැක්වීමට සාධාරණ කාලයක් ලබා දී තිබෙනවා. එහිදී කිසිදු කරුණක් දක්වා නැහැ. පූර්වාගාමී මහේස්ත්‍රාත්වරයා සිදුකර ඇති නියෝගය සම්බන්ධයෙන් ඉන් පසුව මෙම අධිකරණයේ කටයුතු කළ පූර්වාගාමී මහේස්ත්‍රාත්වරයා හමුවේ එම භාණ්ඩවලට අයිතිවාසිකම් කියමින් එමත්, එම පාර්ශ්වය සිදුකළ ඉල්ලීමක් සලකා බලා වාර්තාවක් කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කැර තිබියදී එම නියෝග නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කැර තිබෙනවා. ඒ අනුව අදින් සතියක් තුළ මෙම භාණ්ඩ ඉල්ලීම්කාර පාර්ශ්වයට මුදා හැරීමට කටයුතු කළ යුතුයි. අධීකරණ නියෝග පැහැර හැරීම, මග හැරීම මත අධිකරණයට අපහාසයක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පියවර ගන්නවා” යැයි සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කැර සිටියේය.
එම භාණ්ඩ මේ වනවිට මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වමින් ඒ සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම භාණ්ඩ සතියක් තුළ මුදා හැරිය යුතු බවය. අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම අපරාධ නීතිය යටතේ බරපතළ වරදක්, යැයි කී මහේස්ත්‍රාත්වරයා අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු නොකළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට සිදු වන බවද අවධාරණය කැර තිබේ.
එසේම අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර නිතිපතිවරයාගේ උපදෙස් පැතීම වැරදි ක්‍රියාවක් යැයිද අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන ජුනි මස 17වැනි  කැඳවන ලෙස නියෝග කෙළේය.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කොළඹ ෂැංග්‍රිලා හෝටලයට සිදු කරමින් මියගිය තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නොහොත් මොහොමඩ් අබු උබෙයිදා නොහොත්  මොහොමඩ් සහරාන්  ඔහුගේ බිරිය අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර මෙහි ඇතැම් සැකකරුවන්ට අධි චෝදනා ගොනු කැර ඇති අතර ඇතැම් සැකකරුවන් නිදහස් කැර ඇත.
ඒ. එච්. එම්. රිෆාස් සහ මොහොමඩ් නිලාම් යන අය ඇප මත මුදා හැර ඇති අතර නඩුව විවෘතව කැඳවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

(Source-adaderana)

Follow by Email
LinkedIn
Share
WhatsApp