
පාකිස්තානයට ලබන අප්‍රේල් මස 14 වැනිදායින් පසු දරුණු ගෑස් හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි අනාවරණය වෙයි.
පකිස්තානය කටාර් රජ්‍යයේ ප්‍රධාන ගෑස් ආනයනකරුවකු වන අතර, ඉරාන ප්‍රහාර මධ්‍යයේ කටාර් රාජ්‍යයේ ස්වාභාවික ගෑස් නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇත.
පාකිස්තාන ඛනිජ තෙල් අමාත්‍යාංශය එරට සෙනෙට් සභාවට දැනුම් දී ඇත්තේ මාර්තු මාසයේදී කටාර් රාජ්‍යයෙන් එල්එන්ජී ගෑස් නෞකා 8ක් ආනයනය කිරිමට සැලසුම් කළද, යුද ගැටුම් ඇරඹීමට පෙර පැමිණ ඇත්තේ නෞකා දෙකක් පමණක් බවය.
මේ මස මුල් භාගයේදී කටාර් රාජ්‍යයේ රස් ලාෆන් ස්වාභාවික ද්‍රව ගෑස් නිෂ්පාදන සංකීර්ණයට ඉරානයෙන් පළමුවරට ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් ඉතිරි ගෑස් නෞකා 6ක් ගෙන්වා ගැනීමට නොහැකි වූ බව ඛනිජ තෙල් අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කැර තිබේ.
ඉරාන ප්‍රහාරයෙන් පසු ගෑස් නිෂ්පාදන කටයුතු අත්හිටුවූ කටාර් රාජ්‍යය සිය ගැනුම්කාර රටවලට එල්එන්ජී ගෑස් සැපයුම සම්බන්ධයෙන් force majeure හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ අතර, පාලනය කළ නොහැකි හදිසි තත්ත්වයකදී වගකීමෙන් නිදහස් වීම සඳහා ලැබී ඇති එම නීතිමය අවසරය කටාර් රාජ්‍යය භාවිත කිරීම හේතුවෙන් පාකිස්තානයට එල්එන්ජී ගෑස් පර්යන්ත දෙකක උපයෝගිතා ගාස්තු අඛණ්ඩව ගෙවීමට සිදුවී ඇතැයි සඳහාන් වේ.
කටාර් රාජ්‍යයේ ගෑස් සැපයුම අත්හිටුවනු ලැබුවද සිය ගෑස් පර්යන්ත සඳහා දෛනිකව අමෙරිකානු ඩොලර් 5,38,535ක් ගෙවීමට සිදුවී ඇති බවත්, එය මාසිකව ඩොලර් මිලියන 15කට ආසන්න මුදලක් බවත් පාකිස්තානයේ ඛනිජ තෙල් ඇමැති අලි පර්වේස් මලික් ප්‍රකාශ කර තිබේ.
