
Pix-Asian Mirror
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් පවතින බව මේ වන විට අනාවරණය වී තිබේ.
මැතිවරණය නියමිත අයුරින් පැවැත්විය යුතු බව ආණ්ඩුවේ එක් කණ්ඩායමක් ප්‍රකාශ කරන අතර, තවත් කණ්ඩායමක් පවසන්නේ මේ අවස්ථාවේ මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවට අවාසිදායක නොවන බවයි.
මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ, පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට ආණ්ඩුව සෑම උත්සාහයක්ම දරණ බවයි. මැතිවරණ කොමිෂන් සභාව පවසන ඕනෑම අවස්ථාවක මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරණ බව ද ඒ මහතා පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතාද පසුගිය දා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
ඔහු පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් පැරණි ක්‍රමයට හෝ නව ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය මේ අවසේථාවේ දී පැවැත්වීමට කොමිසමට බලයක් නොමැති බවත්, මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ නීති ප්රතිසංස්කරණයක් මඟින් එය නිවැරදි කර ගත යුතු බවද පවසා තිබේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනටමත් ප්‍රමාද වී ඇති අතර, බලයට පත් වී වසරක් ඇතුළත එය පවත්වන බවට වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර ජනතාවට පොරොන්දු වී තිබිණී.එය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ද ඇතුළත් කර තිබුණි.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා සහ ඒවා ඉවත් කොට ඒ සඳහා ආණ්ඩුට බළ කිරීම සඳහා සම්මන්ත්‍රණය පසුගිය දා කොළඹ දී පැවැත්විණි . සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරූ ජයසූරිය මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පාර්ශ්ව රැසක් මේ සම්මන්ත්‍රණයට සහභාගී වූහ.
මේ සම්මන්ත්‍රණයට එක් වූ සියලු දෙනාගේ පොදු අදහස වූයේ ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වූ ආකාරයට කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කැර ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ද ජාතික ජන බලවේග ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ මේ පොරොන්දුව ඉටු කළ යුතු බව ද ඔවුහු පෙන්වා දුන්හ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවක් පවතින්නේ නම්, ඉතා පහසුවෙන් එය ඉවත් කැර ගත හැකි බව ද ඔවුහු පෙන්වා දුන්හ.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ බොහෝ විට පවත්වන ලද්දේ බලයේ සිටින රජයේ දේශපාලන අවශ්‍යතාව මත බව ද , පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවද අනුගමනය කරන්නේ ද එම ප්‍රතිපත්තිය බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
දුමින්ද ගුරුගේ
