
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් දැරිය හැකි පරිදි රජයේ සහ පළාත් සභාවල උසස් තනතුරු 381කට අධික ප්‍රමාණයක් වෙන් කරමින් නිකුත් කර තිබූ සේවා ව්‍යවස්ථාවේ අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානත්වයේ අයිතිය උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය.
ඒ අනුව, 2013 දෙසැම්බර් 23 දිනැති ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කැර තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවේ “A” උපලේඛනය බලශූන්‍ය (Nullity) බවට අධිකරණය ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය යන සමස්ත ලංකා සේවාවන් නියෝජනය කරන නිලධාරීන් සහ සංගම් විසිනි. ඔවුන්ගේ ප්‍රධාන විවේචනය වූයේ අතිරේක ලේකම්, කොමසාරිස් ජනරාල් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි “කීර්තිමත්” තනතුරු රාශියක් පරිපාලන සේවයට (SLAS) පමණක් වෙන් කිරීම හරහා අනෙකුත් වෘත්තීය සේවාවන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවයි.
විනිසුරු යසන්ත කෝදාගොඩ ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් මෙම තීන්දුවේ වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කැර ඇත.
සේවාවන් අතර උස් පහත් භේදයක් නොමැත. ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ලංකා සේවා 11ම එකම ගණයට (Class) අයත් වන බවත්, පරිපාලන සේවය අනෙක් සේවාවන්ට වඩා උසස් හෝ විශේෂ සේවාවක් ලෙස සැලකීමට සාක්ෂි නොමැති බවත් අධිකරණය පෙන්වා දුන්නේය.
මෙම තනතුරු වෙන් කිරීමේදී කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ විෂය මූලික නිර්ණායකයක් (Objective Criteria) භාවිත කර නොමැති බවත්, එය අත්තනෝමතික ලෙස සිදු කර ඇති බවත් අධිකරණය නිගමනය කෙළේය.
රජයේ තනතුරුවලට පත් කිරීමේදී පුද්ගලික හෝ සේවා මනාපයන් මත නොව, එම තනතුරට අවශ්‍ය නිපුණතාව (Competency) සහ දක්ෂතාව (Merit) මත පදනම් විය යුතු බව අධිකරණය අවධාරණය කෙළේය.
මෙම තීන්දුවත් සමඟ 2026 පෙබරවාරි 26 වෙනිදා සිට පරිපාලන සේවයට පමණක් වෙන් කර තිබූ තනතුරු ලේඛනය අවලංගු වේ. කෙසේ වෙතත්, දැනට පත් කර ඇති නිලධාරීන්ගේ නීත්‍යානුකූලභාවයට මෙයින් හානියක් සිදු නොවන බව අධිකරණය පැහැදිලි කෙළේය.
නඩු තීන්දුව මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පහත නියෝග නිකුත් කරන ලදී.
1. තීන්දුව ලබා දී වසර දෙකක් ඇතුළත, අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර නව තනතුරු ලේඛනයක් (Appendix A) සකස් කළ යුතුය.
2. එම ලේඛනය සකස් කිරීමේදී, එක් එක් තනතුරට අවශ්‍ය නිපුණතාවන් හඳුනාගත යුතු අතර, ඒ සඳහා සුදුසු ඕනෑම සමස්ත ලංකා සේවා නිලධාරියෙකුට ඉල්ලුම් කිරීමට අවස්ථාව සැලසිය යුතුය.
මෙම ඓතිහාසික තීන්දුව මඟින් මෙතෙක් කල් රාජ්‍ය සේවයේ පැවති එක් සේවාවක ඒකාධිකාරය බිඳ දමමින්, සියලුම වෘත්තීය නිලධාරීන්ට තම දක්ෂතාව මත ඉහළ තනතුරුවලට පිවිසීමට තිබූ බාධාව ඉවත් කැර ඇත.
(Source- Leader – සටහන | ජේ.මුණසිංහ)
