Impartial news reporting for a stronger democratic society
පර්යේෂණ සාර්ථකයි : චීනයෙන් කෘතීම ඉරක් !

නව ලිබරල්වාදී ආර්ථික චින්තනය තුළ “හිඟකම” (Scarcity) යනු හුදෙක් ස්වභාවික තත්ත්වයක් නොව, එය පද්ධතියේ පැවැත්ම සඳහා නිර්මාණය කරනු ලබන සහ නඩත්තු කරනු ලබන දේශපාලනික මෙවලමකි. හිඟකම ව්‍යසනයක් බවට පත්වීම නව ලිබරල්වාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය සංසිද්ධියකි.

සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව පවසන්නේ සම්පත් සීමිත බැවින් මිනිසාගේ අසීමිත අවශ්‍යතා සපුරාලීමට වෙ‍ෙළඳපොළ අවශ්‍ය බවයි. නමුත් නව ලිබරල්වාදය මෙම හිඟකම උපායමාර්ගිකව කළමනාකරණය කරයි.

යම් දෙයක් හිඟ වන තරමට එහි මිල සහ වටිනාකම තීරණය කිරීමේ බලය වෙළෙඳපොළ සතු වේ. බලශක්තිය (තෙල්) හිඟ සම්පතක් ලෙස පවත්වා ගැනීම හරහා ගෝලීය බලවතුන්ට මුළු මහත් රටවල ආර්ථිකයන් හසුරුවන්නට හැකියාව ලැබී ඇත. සම්පත් හිඟ බව පවසන විට මිනිසා තුළ “පැවැත්ම පිළිබඳ භීතියක්” නිර්මාණය වේ. මෙම භීතිය නිසා මිනිසා පවතින පද්ධතියට (උදා: ණය බරිත වීම, අඩු වැටුප් ශ්‍රමය) යටත් වීමට පෙළඹේ.

නයෝමි ක්ලේන් (Naomi Klein) ඇගේ “The Shock Doctrine” කෘතියේ පෙන්වා දෙන පරිදි, හිඟකම නිසා ඇතිවන ව්‍යසනයන් (බලශක්ති අර්බුද, යුද්ධ, ආහාර හිඟය) නව ලිබරල්වාදයට නව වෙ‍ෙළඳපොළවල් විවෘත කැර දෙයි.

ව්‍යසනයක් ඇති වූ විට මිනිසා ඉන්නේ අසරණ තත්ත්වයකය. එවිට රාජ්‍ය සතු සම්පත් පෞද්ගලීකරණය කිරීමට, සුබසාධන කප්පාදු කිරීමට සහ නව ලිබරල් ප්‍රතිසංස්කරණ බලහත්කාරයෙන් පැටවීමට පාලක පන්තියට පහසු වේ. තෙල් මිල ඉහළ යෑම ව්‍යසනයක් වුවත්, එය තෙල් සමාගම්වලට සහ මූල්‍ය වෙළෙඳපොළට අතිවිශාල ලාභයක් ගෙන එන්නකි. එනම්, පොදු ජනයාගේ ව්‍යසනය නව ලිබරල්වාදයේ සාර්ථකත්වයයි.

නව ලිබරල්වාදය හිඟකම භාවිතා කරන්නේ “වෙනත් විකල්පයක් නැත” (There Is No Alternative – TINA) යන මතවාදය ස්ථාවර කිරීමටය. සම්පත් හිඟ වූ විට, ඒවා කාට දිය යුතුද යන්න තීරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් නොව, ලාභය මත පදනම් වූ සංස්ථායි. මෙය මිනිසාගේ “තෝරාගැනීමේ නිදහස” වෙ‍ෙළඳපොළට පාවා දීමකි.

නව ලිබරල්වාදය අවධාරණය කරන්නේ මිනිසා ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී සහ හිඟකම හමුවේ තරඟ වදින්නෙකු බවයි. නමුත්, තාක්ෂණික ජයග්‍රහණ පෙන්වා දෙන්නේ මනුෂ්‍ය නිර්මාණශීලීත්වයට හිඟකම පරාජය කළ හැකි බවයි.

නිදහස පිළිබඳ නොසන්සි‌‌දෙන මිනිස් පිපාසයත්, ඒ සඳහාම වන නිර්මාණශීලි මනුෂ්‍ය මැදිහත්වීමත් නිසා අමෙරිකාවේ ඉරාන ආක්‍රමණය ,බොහෝ දුරට පොසිල ඉන්ධන වෙනුවෙන් පෘථිවියේ කෙරෙන අවසාන යුද්ධය විය හැකි බවට ඉඟි පහළ වෙමින් තිබේ.

චීනයේ “කෘතිම හිරු” වැඩසටහනේ සාර්ථකත්වය, මේ යුගයේ ඉහළම මිනිස් අපේක්ෂාව වන්නේ මේ පසුබිමේ ය.

චීනයේ “කෘතිම ඉර” (Artificial Sun) ලෙස හැඳින්වෙන්නේ එරට විද්‍යාඥයන් විසින් නිපදවන ලද HL-2M Tokamak නමැති පර්යේෂණාත්මක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයයි. මෙය සැබෑ සූර්යයා තුළ ශක්තිය නිපදවන ක්‍රියාවලිය පෘථිවිය මත ප්‍රතිනිර්මාණය කිරීමට දරන උත්සාහයකි.

සාමාන්‍ය න්‍යෂ්ටික බලාගාරවල සිදුවන න්‍යෂ්ටික විඛණ්ඩනය (Fission) වෙනුවට මෙහිදී සිදුවන්නේ න්‍යෂ්ටික විලයනයයි. එහිදී හයිඩ්‍රජන් පරමාණු එකිනෙක ගැටී හීලියම් බවට පත්වන අතරතුර අතිවිශාල ශක්තියක් මුදාහරියි. සූර්යයා මධ්‍යයේ තාපය හා ආලෝකය නිපදවෙන්නේ ද මේ අයුරිනි.

සැබෑ සූර්යයාගේ මධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් පමණ වේ. නමුත් චීනයේ මෙම “කෘතිම ඉර” තුළ සෙල්සියස් අංශක මිලියන 150කට වඩා වැඩි උෂ්ණත්වයක් ජනනය කළ හැකිය. එනම් එය සැබෑ සූර්යයාට වඩා 10 ගුණයකට වඩා රුදුරු උෂ්ණත්වයකි.

මෙතරම් ඉහළ උෂ්ණත්වයක පවතින ප්ලාස්මා (Plasma) ද්‍රව්‍යය දිය නොවී රඳවා තබා ගැනීම සඳහා ප්‍රබල චුම්බක ක්ෂේත්‍ර (Magnetic Fields) භාවිතා කරනු ලැබේ. මේ නිසා ප්‍රතික්‍රියාකාරකයේ බිත්තිවල ප්ලාස්මාව ස්පර්ශ වීම වළක්වයි.

සාගර ජලයෙන් ලබාගත හැකි හයිඩ්‍රජන් ඉන්ධන ලෙස භාවිතා කරන බැවින් මෙය නිම නොවන බලශක්ති ප්‍රභවයකි. එසේම, මෙහිදී කාබන් විමෝචනයක් සිදු නොවන අතර ඉතා අවම විකිරණශීලී අපද්‍රව්‍ය ප්‍රමාණයක් පමණක් නිපදවේ. සාම්ප්‍රදායික න්‍යෂ්ටික බලාගාරවල මෙන් පිපිරීම් හෝ දියවීයාම් (Meltdown) වීමේ අවදානම ඉතා අඩුය.

චීනය මෙම තාක්ෂණය දියුණු කරන්නේ ITER (International Thermonuclear Experimental Reactor) නමැති ජාත්‍යන්තර ව්‍යාපෘතියේ ද කොටස්කරුවෙකු ලෙසය. අනාගතයේදී ලෝකයේ බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාදීම මෙහි අවසන් අරමුණයි.

විද්‍යාඥයන් පවසන්නේ 2035 වන විට ITER ව්‍යාපෘතියේ පළමු ප්ලාස්මා අත්හදා බැලීම් සිදු කිරීමටත්, 2050 වන විට ලෝකයේ පළමු වාණිජමය න්‍යෂ්ටික විලයන බලාගාරය ක්‍රියාත්මක කිරීමටත් හැකිවනු ඇති බවයි. මෙය සාර්ථක වුවහොත් මානව ඉතිහාසයේ බලශක්ති අවශ්‍යතාවය සදාකාලිකවම විසඳෙනු ඇත.

(ගාමිණී ඒකනායක, 2026-03-26 වැනි දා දිනමිණට ලියන ලද ලිපියක් ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp