Impartial news reporting for a stronger democratic society
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිය ඝාතනය කරන්න අනුබල දුන් 4ක් සැකපිට අත්අඩංගුවට

තලංගම,අකුරේගොඩ දී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිය පසුගිය සිකුරාදා පස්වරුවේය  ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහාන් කරයි.
පොලීසිය සඳහන් කෙළේ, සැකකරුවන්ට නවාතැන් ලබාදීම, ගිනි අවි ප්‍රවාහනය කිරීම හා මත්ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බද්දේගම ප්‍රදේශයේ ගිනි තබා තිබියදී සොයා ගැනුණ ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් 12 ක් මඟින් විමර්ශන ක්‍රියාත්මක වේ.
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි හා ඔහුගේ බිරිය ඝාතනය කිරීම පිළිබඳව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ද සංවේගය පලකැර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය කාල සීමාවන් තුළ දේශපාලන අරමුණු වෙනුවෙන් පෝෂණය කළ පාතාලය හා මැර කල්ලි සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් හා අධිකරණ පද්ධතියට එල්ල කරන අභියෝග දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
එම ඝාතන සිද්ධියට විරෝධය පළකරමින් අද (16) දිනයේ දීප ව්‍යාප්තව සියලු අධිකරණ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කැර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ  සභාපති රජීව් අමරසූරිය සඳහන් කෙළේ ය.
වෙඩි තැබීමට හේතුව සංවිධානාත්මක කල්ලි අතර ගැටුම් ද?
අකුරේගොඩ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතාව පවත්වා ඇති බවට පොලිසිය කිසිදු නිවේදනයක් නිකුත් කැර නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ප්‍රකාශ කරයි. 

ඊයේ (15) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී මාධ්‍යවේදියකු විමසු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය. 

“ඔබ සඳහන් කළ පරිදි මම දැක්කා මාධ්‍ය ඔස්සේ ගොඩක් …. මේ තොරතුරු…… විකාශනය වෙනවා. මෙම නීතිඥවරයාගේ මේ ඔබ සඳහන් කළ ආකාරයේ සම්බන්ධතා සම්බන්ධයෙන්. නමුත් විමර්ශන භාරව කටයුතු කරන්නේ මම ප්‍රධාන වශයෙන් මම. ඊට පස්සේ නියෝජ්‍ය පොලිස්පති බස්නාරහිර පලාත දකුණ. විශේෂ කාර්ය බලකායත්. ඒ වගේම අපේ අනෙකුත් බුද්ධි අංශ ඇතුළුව පොලිස් කණ්ඩායම් 12ක් මේ අපරාධය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා විසඳගන්න. නමුත් අපි කිසිම අවස්ථාවක පොලිසිය වශයෙන් මේ වගේ නිවේදනය නිකුත් කරලා නැහැ. ජනමාධ්‍ය ඔස්සේ මම දැක්කා මේවා ප්‍රචාර වෙනවා. නමුත් අපි ඒවා ජනමාධ්‍යය සමාජ මාධ්‍යය හෝ වෙනත් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයවලින් විකාශන දේවල් අපි අධ්‍යයනය කරනවා. හැබැයි 100ට 100ක්ම ඒවා ඒ ආකාරයෙන් අපි අනුමත කරන්නෙත් නැහැ. බැහැර කරන්නෙත් නැහැ. “

 ඝාතනයට ලක් වූ නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණිය සුද්දා නමැත්තාගේ නීතිඥවරයා බවටත් ඔහු පිළිබඳව වෙනත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන තැනැත්තෙකුට තොරතුරු ලබා දීම හේතුවෙන් කරන්දෙණිය සුද්දා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටත් පොලිසිය පැවසූ බව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණු අතර මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් විමසීමේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේ, “අපි පොලිසිය වශයෙන් කිසිම මාධ්‍ය ප්‍රකාශකතුමා හෝ මම හෝ වෙන කිසිම නිලධාරියෙක් එවැනි නිවේදන නිකුත් කරලා නැහැ,” යනුවෙනි.( Source –The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp