Impartial news reporting for a stronger democratic society
නඩු ගොනුවක් හපා කෑ කැකිරාවේ නීතිඥවරියට වැඩවරදි : නීතිඥ භාවය අහෝසි කරමින් අත්හිටවු සිරදඬුවම් !

අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක් බලහත්කාරයෙන් උදුරාගෙන එහි තිබූ පිටු දෙකක් ගලවා හපා කා හානි සිදු කළ කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණය අද (16) තීන්දු කෙළේය. මෙයට අමතරව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ද ඇයට වසරක අත්හිටවූ සිරදඬුවම් අධිකරණය නියම කළේය.
නීතිඥ ආචාර ධර්මවලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කැර නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට  ඇය වරදකරු වු අතර,  සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියම  කරමින් රුපියල් 25000 ක දඩයක් ගෙවන ලෙසද ඇයට නියම කරන ලදී.

එම දඩ මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවෙන් අමතර මාස හයක සිර දඬුවම් නියම කෙරිණ.
ඇඟිලි සලකනු ලබාදීම සඳහා පොලිස් අපරාධ හා ඇඟිලි සලකුණු කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙසද ඇයට නියම කරන ලදී.
අදාළ චෝදනාවලට තමන් වරදකාරී බවට එම තැනැත්තිය පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම් නියම කරන ලදී.
එම තැනැත්තියට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන එකඟත්වය ඇති නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කෙළේය.
මෙම වගඋත්තරකාරිය සිදු කැර තිබෙන ක්‍රියාව මඟින් නීතිඥවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය බරපතළ අයුරින් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශයට පත් කළ විනිසුරු යසන්ත කෝදාගොඩ, ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කෙළේය .
 මෙම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට දැනුම් දෙන ලෙසත් නියම කෙරිණ .
කැකිරාව මහේස්ත්‍රාත්  අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක් ලබාදීම කාර්යාලයේ සේවකයින් විසින් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී 23 වසරේ ජූලි මස 27 වැනි   දින එය බලහත්කාරයෙන් උදුරා ගෙන එහි තිබූ අත් අකුරු පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් වන ලේඛනයක් කටේ දමා හපා කා විනාශ කළ බවට නීතීඥ වරියට එරෙහිව චෝදනා කැර තිබුණි.

මෙකී සිද්ධිය මඟින් අදාළ නීතීඥවරිය විසින් නීතිඥ භාවයේ ආචාර්ය ධර්ම උල්ලංඝනය කැර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම නීතිඥවරියට ම විරුද්ධව අපරාධ නඩුවක්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බව එහිදී සඳහන් කෙරිණ.
එම පැමිණිල්ල ප්‍රකාශ විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ නීතිඥ භාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග කෙළේය.
 එලෙස නීතිඥභාවය අත්හිටුවා තිබියදීත් එම වෘත්තියේ කටයුතු කරමින් සේවා දායකයින්ගේ මුදල් ලබා ගැනීම සිදුකළ බවට කැකිරාව නීතිඥ සංගමය විසින් ඇයට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඇයට පිටවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ද මීට පෙර නිකුත් කෙළේය.

තමන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව මුලින් ප්‍රකාශ කළ විත්තිකාරිය අනතුරුව එම චෝදනාවලට වරද පිළිගත්තාය .

 ඒ අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

Source- The Leader

(සටහන | නෙල්කා මැදගෙදර)
අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com

Follow by Email
LinkedIn
Share
WhatsApp