
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කැර තිබේ.
ඒ් අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් රතු නිවේදනයක් (Red Warning) නිකුත් කැර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) දැනුම් දෙන්නේ, යටිනුවර ප්‍රදේශයේ නායයෑමේ අවදානම් කලාපවල (විවෘත බැවුම්, පහත් බිම්, කපන ලද පස් කණ්ඩි සහ අවදානම් සහිත මාර්ග ආශ්‍රිතව) ජීවත් වන ජනතාව වහාම ආරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත් විය යුතු බවයි.
පවතින අධික වර්ෂාපතනයත් සමඟ තත්ත්වය ඉතා අවදානම් විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්නැයි ජනතාවට දැනුම් දෙයි.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, නුවර දිස්ත්‍රික්කයේ දොළුව සහ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටින්තොට සහ මාවනැල්ල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න සහ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කිරිල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර දෙක යටතේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කැර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්ඳකැටිය, හපුතලේ සහ පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නියගම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, නුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, පහතදුම්බර සහ උඩුනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඕවිට සහ දැරණියගල, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැඟෙනහිර, අඹගමුව, මතුරට සහ හගුරන්කෙත, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කලවාන, ඇහැළියගොඩ සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීමක් සිදු කැර ඇත.
මෙයට හෙට පස්වරු හත දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.( දිනමිණ ඇසුරෙන්)
