
ශ්‍රී ලංකාවට දරුණු විනාශයක් සිදු කරමින් තමිල්නාඩු වෙරළ තීරයට සමගාමීව ගමන් කළ ‘දිට්වා’ සුළි කුණාටුව ගැඹුරු අවපීඩන තත්ත්වයක් දක්වා දුර්වල වෙමින් පවතින බවත්, ඊයේ (01) අලුයම වන විට උතුරු තමිල්නාඩුවේ සහ පුදුචෙරි මුහුදු තීරයෙන් කිලෝමීටර් 35ක් ඈතින් ස්ථානගත වී තිබූ බවත් කලාපීය කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය උපුටා දක්වමින් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය සඳහාන් කරයි.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකිල්ලට ගෙන දිට්වා සුළි කුණාටුවෙන් තමිල්නාඩුවට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි අනාවැකි පළවූවද, ඉදිරි පැය 24 ඇතුළත සුළි කුණාටුව සම්පූර්ණයෙන් දුර්වල වනු ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළ බව ද එම පුවත් සේවය සඳහන් කෙළේය.
සුළි කුණාටුවේ අවදානම තුරන් වුවද ඊයේ චෙන්නායි නගරය ඇතුළු පුදුචෙරි ප්‍රාන්තයට සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇතැම් දිස්ත්‍රික්කවලට අධික වර්ෂාපතනයක් පැවති බවත්, ගංවතුර තත්ත්වයක අවදානම හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර තිබූ බවත් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කෙළේය. අධික වර්ෂාව හේතුවෙන් පුදුචෙරි කලාපයේ රජයේ, පෞද්ගලික සහ රජයේ ආධාර ලබන සියලු පාසල් ඊයේ වසා දැමූ බව කලාප බලධාරීන් ප්‍රකාශ කැර තිබේ.
අධික සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහන් සහ ගස්වැල් කඩා වැටීමේ සිදුවීම් රැසක් ද තමිල්නාඩුවෙන් සහ පුදුචෙරි ප්‍රාන්තවලින් වාර්තා වූ අතර, ආපදා කළමනාකරණ කටයුතු සඳහා 22,000කට අධික සිවිල් සේවකයන් පිරිසක් සීරුවෙන් තැබීමට ප්‍රාන්ත බලධාරින් පියවර ගත් බවත් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය සඳහන් කෙළේය.( දිනමිණ ඇසුරෙන්)
