Impartial news reporting for a stronger democratic society
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4.1ක හානියක්

නොවැම්බර් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගොඩනැඟිලි සහ ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය සහ තීරණාත්මක යටිතල පහසුකම්   සඳහා  අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක සෘජු භෞතික හානියක් සිදුව ඇති බව ලෝක   බැංකු සමූහය අද නිකුත් කළ ගෝලීය වේගවත්      පශ්චාත් ආපදා හානි ඇස්තමේන්තු (GRADE) වාර්තාව අනුව අනාවරණය වේ. 

මෙම හානිය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සියයට 4කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ.

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ වඩාත්ම දරුණු සහ විනාශකාරී සුළි කුණාටුවක් ලෙස සැලකෙන මෙම ආපදාව, දිස්ත්‍රික්ක 25 පුරා මිලියන 2කට ආසන්න ජනතාවකට සහ පවුල් 500,000කට ආසන්න සංඛ්‍යාවකට දැඩි ලෙස බලපා ඇත. එමඟින් ජීවනෝපායන්, අත්‍යවශ්‍ය සේවා සහ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වලට විශාල බාධා ඇති වී ඇත.

ශ්‍රී ලංකා GRADE වාර්තාව, හදිසි ප්‍රතිචාර කටයුතු, ප්‍රතිසාධන සැලසුම් කිරීම සහ දිගුකාලීන ආපදා අවදානම් අවම කිරීමේ උත්සාහයන් මෙහෙයවීම සඳහා කාලෝචිත සහ තීරණාත්මක අවබෝධයක් ලබා දෙන බව සඳහන් වේ. මෙම තක්සේරුව, ලෝක බැංකුව විසින් භාවිතා  කරන වේගවත්, දුරස්ථ සහ ආදර්ශ පාදක GRADE ක්‍රමවේදය මත පදනම් වූවක් වන අතර, එය භෞතික වත්කම්වලට සිදු වූ සෘජු ආර්ථික හානිය පමණක් ඇස්තමේන්තු කරයි. ආදායම් හෝ නිෂ්පාදන පාඩු හෝ ප්‍රතිසංස්කරණයේ සම්පූර්ණ පිරිවැය මෙම වාර්තාවට  ඇතුළත්   නොවේ.ඇස්තමේන්තු ගත ඩොලර් බිලියන 4.1ක සෘජු හානිය, බලපෑමට ලක් වූ ප්‍රදේශ සඳහා දැඩි ආර්ථික කම්පනයක් නියෝජනය කරයි. මධ්‍යම පළාත වඩාත්ම පීඩාවට පත් වූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ හානි ඩොලර් මිලියන 689ක් ලෙස ඇස්තමේන්තු කැර ඇත. මෙම හානි ප්‍රධාන වශයෙන්   ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදුව ඇත.

මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ ජල සැපයුම් ජාල ඇතුළු යටිතල පහසුකම් සඳහා සිදු වූ හානිය, සමස්ත හානියේ විශාලතම කොටස වන අතර, එය ඩොලර් බිලියන 1.735ක් (සියයට 42ක්) ලෙස ඇස්තමේන්තු කර      ඇත. මෙමඟින් වෙළෙඳපොළ හා අත්‍යවශ්‍ය සේවාවන් වෙත    ප්‍රවේශය දැඩි ලෙස අඩාල වී ඇත.

නේවාසික ගොඩනැඟිලි සහ ඒවායේ අන්තර්ගතයන් ද දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර, ඒ සඳහා ඇස්තමේන්තු ගත හානිය ඩොලර් මිලියන 985ක් වේ. මෙම තත්ත්වය, ගොඩනැගිලි ස්ථාන තේරීම, ගංවතුර පාලන ව්‍යුහ සහ අධික සුළං හා ගංවතුරට ඔරොත්තු දෙන නිවාස සැලසුම් පිළිබඳ අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරයි.

කෘෂිකර්මාන්තයට ඩොලර් මිලියන 814ක හානියක් සිදුව ඇති අතර, වී සහ එළවළු වගා,   යැපුම් ගොවිතැන, බඩ ඉරිඟු, පශු සම්පත්, කෘෂිකාර්මික යටිතල පහසුකම් සහ අභ්‍යන්තර  ධීවර කර්මාන්තය දැඩි ලෙස බලපෑමට ලක්ව ඇත. මෙය දැනටමත් අවදානමට ලක්ව සිටින ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආහාර සුරක්ෂිතතාවයට සහ ජීවනෝපායන්ට බරපතළ අවදානම් ඇති කරයි.ප්‍රධාන ගංගා සහ ඇළ දොළ ආශ්‍රිතව පිහිටා ඇති පාසල්, සෞඛ්‍ය පහසුකම්, ව්‍යාපාර, කාර්මික පහසුකම් සහ කර්මාන්තශාලා ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලි (අන්තර්ගතය ඇතුළුව) ද දැඩි ලෙස හානිවී ඇති අතර     , ඒ සඳහා ඇස්තමේන්තුගත හානිය ඩොලර් මිලියන 562ක් ලෙස සඳහන් වේ. මෙය බලපෑමට ලක් වූ ප්‍රදේශවල අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා සැපයීමත්, දේශීය ආර්ථික ක්‍රියාකාරකම්ත් බාධා කිරීමට හේතු වී ඇත.

මෙම තක්සේරුව මඟින්, දරිද්‍රතාවය, සේවා සඳහා සීමිත ප්‍රවේශය සහ දේශගුණික අවදානම් වලට නිරාවරණය වීම වැනි පෙර පැවති සමාජ–ආර්ථික අවදානම්, විශේෂයෙන් කාන්තාවන්, ළමුන්, වැඩිහිටියන් සහ කාන්තා මූලික පවුල් සඳහා සුළි කුණාටුවේ බලපෑම් සහ මන්දගාමී ප්‍රකෘතිමත් වීම තවත් වැඩි කළ හැකි බවද අවධාරණය කරයි. එබැවින් වඩාත්      අවදානම් සහිත ප්‍රජාවන් සඳහා ඉලක්කගත ප්‍රතිසාධන උත්සාහයන් අත්‍යවශ්‍ය වනු ඇත.

මෙම පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු සමූහයේ රට කළමනාකරු ගෙවෝර්ග් සර්ග්ස්යාන් මහතා පැවසුවේ, “වඩාත්ම පීඩාවට පත් දිස්ත්‍රික්ක සළකා බැලීමේදී, ගැඹුරට මුල් බැසගත් අවදානම් හේතුවෙන් ප්‍රජාවන් දැඩි අවදානමකට ලක්ව ඇති බව පැහැදිලිය. බදුල්ල, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල බොහෝ නිවාස දැනටමත් දුර්වල තත්ත්වයක පැවති අතර, දැන් එම නිවාස       ඉහළම හානිවලට මුහුණ දී ඇත. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නිවාසවලින් සම්භාව්‍යව අඩක් පමණ කාන්තාවන් හෝ වැඩිහිටි පුද්ගලයින් විසින් මෙහෙයවනු ලබයි. දහස් ගණනක් කාන්තාවන් සහ ගැහැණු ළමයින් මේ වන විට අවතැන් වී හෝ අනාරක්ෂිත නිවාසවල රැඳී සිටින අතර, මෙම යථාර්ථය වඩාත් අවදානමට ලක්ව ඇති පිරිස් ආරක්ෂා කරන, ප්‍රජා කේන්ද්‍රීය සහ සකස් කළ ප්‍රතිසාධන උත්සාහයන් සඳහා ඇති අවශ්‍යතාවය පැහැදිලිව පෙන්වයි,” යනුවෙනි.

   

Chitral Jayawarna

(ලෝක බැංකු මූලාශ්‍ර ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp