
වනජීවි නිලධාරීන් කන්ඩායමක් කරන ලද විශේෂ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් තොගයක් සහ ඉබි බිත්තර 14 ක් සහ ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාවක් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කර සිටි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ශරීර ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි නියෝග කළාය.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය යළි 2026 වසරේ ජනවාරි මස 22 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරනු ලැබුවාය.
සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බලපෑම් නොකරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුට තරයේ අවවාද කෙරිණි.
සැකකරු සමඟ අත් අඩංගුවට ගත් විවිධ වන සතුන්ගේ මස් කොටස්වල සාම්පල ජාතික සත්වෝද්‍යානයට යවා ඊට අදාළ වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසටද වනජීවී නිලධාරීන්ට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු සමඟ අත් අඩංගුවට ගත් ගල් ඉබ්බන් පශූ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර සුදුසු ස්ථානයකට මුදා හරින ලෙසටද නියෝග කළාය.
භික්ෂූන් වහන්සේ සහ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට විමර්ශන
මෙම නඩුකරය යළි කැඳවූ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රිටිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ පැවසුවේ, මෙරට බෞද්ධ ජනතාව දහදිය මහන්සියෙන් උපයා ගෙන ජය ශ්‍රි මහ හමුදුරුවන්ට පූජා කළ මුදල් වලින් ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන මෙම සැකකරු ධනවතෙකු බවට පත්ව මහ බලයක් ඇති අයෙකු බවට පත්ව සිටින බවයි.
එම ධන බලය සහ විවිධ තරාතිරම්වල පුද්ගලයින් සමඟ ඇති සබඳතා මත සැකකරු විමර්ශනවලට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරමින් විමර්ශන විකෘති කිරීමට උත්සහ දරන බව කියා සිටි අඩවි ආරක්ෂකවරයා මෙම සිද්ධිය නිසා සමාජය තුළමෙන්ම විශේෂයෙන් බෞද්ධ ජනතාව තුළ බරපතල කැළඹීමක් ඇති වෙමින් පවතින බවද කියා සිටියේ ය.
සැකකරුගේ නිවසේ නීති විරෝධී බොහෝ දෑ තිබෙන බවත් පුළුවන් නම් අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙසට සමාජ මාධ්‍ය මගින් වනජීවී නිලධාරීන්ට අභියෝග එල්ල කර ඇති බවද ප්‍රකාශ කළ අඩවි ආරක්ෂකවරයා තමන් සතුව තිබූ විවිධ වන සතුන්ගේ මස් වර්ග පිටස්තර පුද්ගලයින් තමන්ට ලබා දුන් බව සැකකරු පැවසුවද එලෙස තමන්ට මස් ලබා දුන්නේ කවුරුන්ද? යන්න හෙළි කිරීම සැකකරු චේතනාන්විතවම පැහැර හරිමින් විමර්ශන නොමඟ යැවීමට උත්සහ දරන බවද පැවසීය
අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරමින් සැකකරු සිදු කර ඇති බරපතල නීති විරෝධි සහ විෂමාචාර ක්‍රියා මාධ්‍ය ඔස්සේ සමාජගත වීමත් සමඟ මෙරට සහ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව දැඩි කම්පනයට සහ කැළඹීමට පත්ව සිටින බවත් ඔහු කියා සිටියේය.
බීබීසී (සිංහල) ඇසුරෙන්
