
ගල්ෆ් කලාපයේ මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් උද්ගත වී ඇති තෙල් අර්බුදයට මුහුණ පා සිටින ආසියාතික රටවල් රැසක් ඉන්දියාවෙන් අමතර ඉන්ධන තොග ඉල්ලා ඇතැයි එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය සඳහාන් කරයි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින ඇතුළු රටවල් රැසක් මේ ඉල්ලීම කැර ඇති බවත්, ඉන්දීය රජය එම ඉල්ලීම් සමාලෝචනය කරමින් සිටින බවත් ඔහු සඳහන් කැර තිබේ.
ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතා සහ බොරතෙල් ආනයනය කිරීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් අසල්වාසී රටවල ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කැර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සඳහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

තෙල් අර්බුදය දිගටම පැවැතීමෙන් උග්‍ර ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදුවන බැවින් ඉන්දියාව සමඟ ඇතිකරගත් වාර්ෂික ඩීසල් ගිවිසුමට අනුව ලබා ගැනීමට නියමිත ටොන් එක්ලක්ෂ අසූදහසක ඩීසල් තොගයට අමතරව තවත් ඩීසල් තොගයක් එරට රජය දැනටමත් ඉන්දියාවෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වෙයි.
ඉන්දියාවේ විශාලතම තෙල් පිරිපහදුකරුවන් වන ඉන්දියානු තෙල් සංස්ථාවෙන් මාසිකව ආනයනය කරන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ටොන් 48,000ක සැපයුමට අමතරව තවත් ටොන් 3,000ක් ලබාදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ බව නේපාල තෙල් සංස්ථාවේ නියෝජ්‍ය අධ්යක්ෂ මනෝජ් කුමාර් ප්‍රකාශ කැර තිබේ. වාර්ෂික බොරතෙල් අවශ්‍යතාවයෙන් 90%ක ප්‍රමාණයක්ම ආනයනය කරන ඉන්දියාව ඉන්ධන හිඟය සඳහා විකල්ප මාර්ග සොයමින් සිටින බවත්, ඉන්ධන නෞකා 20කට වැඩි ප්‍රමාණයක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගෙන්වා ගැනීමට ඉන්දීය බලධාරින් ඉරානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද සඳහාන් වේ.
