
තුල්හිරියේ පිහිටි මෙත්ලියා ක්‍රීඩා ඇඟලුම් කම්හල වසා දැමීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස හෙළා දකින බවත්, එහි සේවකයන් 1,400කගේ පමණ රැකියා අවධානමට ලක්ව ඇති බවත්, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මුලෝපායන් මෙයට හේතු වී ඇති බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
එම නිවේදනයේ මෙසේද සඳහාන් වෙයි.
මෙම සමූහ ව්‍යාපාරයේ සමස්ත මෙහෙයුම ඉන්දියාවට මාරු කිරීමට සැලසුම් කැර ඇති බව සඳහාන් වන අතර, රැකියා අහිමිවන සේවකයන් කිහිප දෙනෙකුට වෙනත් ස්ථානවල විකල්ප රැකියා ලබා දිය හැකි බව MAS යෝජනා තිබේ. එම පියවර දේශීය ආර්ථිකයේ ක්‍රමානුකූල කාර්මික – හරණයට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොවන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දෙයි.
මෙම වසා දැමීම හුදකලා සිදුවීමක් නොව, මැරෙමින් තිබෙන නව ලිබරල්වාදයේ රෝග ලක්ෂණයකි. ඓතිහාසික ඛේදවාචකයක ප්‍රතිනිර්මාණයක් ලෙස අපි දකිමින් සිටිමු. එවකට පැවැති ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (GDR) විසින් ශ්‍රී ලාංකික ජනතාවට මුලින් තෑගි කරන ලද දැවැන්ත රෙදිපිළි සංකීර්ණයක් වූ තුල්හිරිය පෙහෙකම්හල , ජේ.ආර්. ජයවර්ධන පාලන තන්ත්‍රයේ තිබු පෞද්ගලීකරණ උන්මාදය නිසා රටට අහිමි කරන ලදී. දැන්, ඉන්දියානු මෙහෙයුම්වල ලාභය පෝෂණය කිරීම සඳහා ඉතිරි ඇඟලුම් මෙහෙයුම් අවසන් කරමින් තිබෙන අතර, ශ්‍රී ලාංකික කම්කරුවන්ට එහි බර පැටවෙමින් තිබෙන බව සඳහාන් කරමින් සිටි.
මතුව ඇති මෙම භායානක තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ,
- පෞද්ගලීකරණය ප්‍රතික්ෂේප කරන්න; මෙත්ලියා ක්‍රීඩා ඇඳුම් කම්හල වසා දැමීම පෙන්වා දෙන්නේ, ජාතික අවශ්‍යතා සහ සේවක ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික ප්‍රාග්ධනය මත යැපීමේ අසාර්ථකත්වය යි.
- වහාම මැදිහත් වී තුල්හිරිය භුමියෙන් වත්කම් සහ යන්ත්‍රෝපකරණ ඉවත් කිරීම නවතන්න.
- කර්මාන්ත ශාලාව පොදු වත්කමක් ලෙස පුනරුත්ථාපනය කිරීම; ජාතික ඇඟලුම් කර්මාන්ත සැපයුම් දාමයේ උපායමාර්ගික ඒකකයක් ලෙස, පොදු හිමිකාරීත්ව ආකෘතියක් යටතේ, කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීමට වහාම පියවර ගැනීම.
- රැකියා සහතික කිරීම; තුල්හිරිය කම්හල පුනරුත්ථාපනය කිරීම හරහා, හෝ එම අංශයේ සහතික කළ රාජ්‍ය සහාය ලබන රැකියා හරහා, සේවකයන් 1,400 දෙනාගේ ජීවනෝපායන් රඳවා ගැනීම සහතික කිරීම.
දශක ගණනාවක් තිස්සේ ඇඟලුම් කර්මාන්තය බලගන්වා ඇති තුල්හිරිය සේවකයන්, ඉන්දියාවට යන සමාගමක කෙටි කාලීන ලාභය සඳහා පසෙකට දැමිය නොහැක. ආණ්ඩුව තෝරා ගත යුත්තේ ජනතාවට සේවය කිරීම හෝ වෙළෙඳපොළට සේවය කිරීම යන විකල්ප දෙකින් එකකි. අපි නව මාවතක් ඉල්ලා සිටිමු; ජාතික නිෂ්පාදනය, මහජන අයිතිය සහ කම්කරු පන්තිය ආරක්ෂා කිරීම යනු එම මාවතයි.
