
තිස්ස විහාරය ඉදිකිරීම සඳහා හමුදාව බලහත්කාරයෙන් අත්පත් කරගත් කන්කසන්තුරේ, තායියට්ටි හි ඇති තම ඉඩම් ආපසු ලබා දෙන්නැයි ඉල්ලා අරගල කිරීමට දෙමළ ජනතාව තීරණය කැර ඇති බව අනාවරණය වෙයි.
තම ඉඩම් ආපසු ලබා ගැනීම සඳහා වසර දෙකකට වැඩි කාලයක් අරගලයක යෙදී සිටින දෙමළ ජනතාව පසුගිය දෙසැම්බර් 31 වැනි දා යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ඔවුන්ට ඉඩම් කොටස් වශයෙන් නිදහස් කරන බවට ඔහු පොරොන්දු වී ඇත.
එම පොරොන්දුවට අනුව , තම ඉඩම් සම්පූර්ණයෙන්ම නිදහස් කරන තෙක් මෙම අරගලය දිගටම කර ගෙන යෑමට කන්කසන්තුරේ, තායියට්ටි හි පදිංචිකරුවන් තිරණය කැර ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වු නාගදීප පුරාණ රජමහා විහාරධිපති නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් පැවසුවේ, හමුදාව අනුග්‍රහය දක්වන තායියට්ටි හි තිස්ස විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බවයි.පසුගිය දා (02) විරෝධතාකරුවන් හමු වු එම හිමියන් කියා සිටියේ තම ඉඩම සම්පූර්ණයෙන්ම නිදහස් කරන තෙක් අරගලය දිගටම කරගෙන යෑම යෝග්‍යය බවයි.
තිස්ස විහාරය සඳහා හමුදාව විසින් අත්පත් කරගෙන ඇති දෙමළ පවුල් 14 කට අයත් අක්කර 6.2 ක ඉඩම ආපසු ලබා දෙන ලෙස ඉල්ලා 2023 සිට සෑම පුර පසළොස්වක පොහොය දිනකම දෙමළ ජනතාව විරෝධතා දක්වමින් සිටින බව අනාවරණය වෙයි.
