Impartial news reporting for a stronger democratic society
තිම්පු ස්වයං තීරණ තීන්දු අලුත් ව්‍යවස්ථාවට යෝජනා කරන්න උතුරේන් කමිටුවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කිරීම සඳහා හතලිස් එක් වසරකට ඉහත දී භූතානයේ තිම්පු අගනුවර පැවති සාකච්ඡාවලදී එළඹී තිරණවලට මුලිකත්වය දෙමින් දෙමළ ජනතාවට පූර්ණ ස්වයං පාලනයක් ලබා ගත හැකිවන ආකාරයේ යෝජනාවලියක් සකස් කිරීමට උතුරේදී කමිටුවක් පත් කර තිබේ.

දෙමළ ජාතික කවුන්සිලය (TNC) එම තීරණය ගෙන ඇත්තේ දෙමළ ජනතාවගේ වාර්ගික ප්‍රශ්නයට විසදුම් ලබා දීමට රජය ගෙන ඒමට උත්සාහ දරණ ඒකීය රාජ්‍ය පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කැර ඒ වෙනුවෙන් පෙඩරල් බලතල රැගත් ව්‍යවස්ථාවක් එක් හඩින් ඉදිරිපත් කිරීම අරමුණු කැරගත් සාකච්ඡා සභාවකදී බව අනාවරණය වෙයි.

 යාපනයේ තරුණ කලාකරුවන්ගේ ශාලාවේදී 2026 පෙබරවාරි 15 වැනිදා  පැවැති එම සාකච්ඡාව නිමා වීමෙන් පසු දෙමළ ජාතික කවුන්සිලය (TNC) ටද නායකත්වය සපයන TNPF නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මාධ්‍යවේදීන් හමුවේ කියා තිබුනේ, එම සාකච්ඡාව සහා සහභාගී වු සියලු දෙනාට කමිටුව වෙත සිය අදහස් ලබා දිය හැකි අතර, එසේ ලබා ගන්නා අදහස් ඇතුලත් කරමින් සකස් කරන වාර්තාව එම කමිටුව සාකච්ඡාව සදහා සහභාගී වු සියලු දෙනා නියෝජනය කරන මහ සභාවට යළි ඉදිරිපත් කරනු ඇති බවයි.

 “දෙමළ ජනතාවට පූර්ණ ස්වයං පාලනයක් ලබා ගැනීම සඳහා දෙමළ ජනතාවගේ මූලික දේශපාලන අභිලාෂයන් ඇතුළත් වන තිම්පු ප්‍රකාශනය මත පදනම් වූ පොදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකමතිකව තීරණය කළා. එම යෝජනා ඇතුළත් සැලැස්මක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද තීරණය කළා. ඉදිරි සතියේ දී තිම්පු මූලධර්මය මත පදනම් වූ ඕනෑම යෝජනාවක් කමිටුව විසින් මහා සභාවට ඉදිරිපත් කළ යුතු බවත්, කමිටුව මහා සභාවට වාර්තා කළ යුතු බවත් තීරණය වුණා. ඒකීය රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ඊයෙත් අනුමත කළා.”

 1985 වසරේ භූතානයේ තිම්පු අගනුවර පැවති සාකච්ඡාවලදී දෙමළ නිජබිම, දෙමළ ජාතිකත්වය සහ දෙමළ ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ මූලධර්ම ඒකමතිකව පිළිගෙන තිබුණි.
නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් 2026 පෙබරවාරි 4 වැනිදා කිලිනොච්චියේ සහ මඩකලපුවේදී විරෝධතා දියත් කළ උතුරු නැඟෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත යොමු කළ සංදේශයක් මඟින් ද  1985 වසරේ භූතානයේ තිම්පු අගනුවර පැවති සාකච්ඡාවල දී ඒකමතිකව අනුමත කෙරුණු එකී මූලධර්ම සියලු පාර්ශ්වයන් පිළිගත යුතු බව සිහිපත් කර තිබුණි. 

77 වසරකට වැඩි කාලයක් පුරා බලයට පත් වූ සිංහල පාලකයන්ගේ අනුදැනුම මත දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ සහ සිදුකෙරෙමින් පවතින ව්‍යුහාත්මක වර්ග සහාරයේ දිගුවක් ලෙස, 2009 වසරේ සිදුකළ මහා වර්ග සංහාරය ඇතුළු මිනිස් ඝාතන, ඉඩම් අත්පත් කර ගැනීම්, ලිංගික ප්‍රචණ්ඩත්වය, සංස්කෘතික හා ආර්ථික ව්‍යුහයන් විනාශ කිරීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා මඟින් දෙමළ ජනතාව ජාතියක් ලෙස නැගී සිටීමට අවැසි සියලු ව්‍යුහයන් විනාශ වෙමින් පවතින බව එම ලිපිය මඟින් ඔවුන්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ අවධානයට යොමු කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනයේ තරුණ කලාකරුවන්ගේ ශාලාවේදී 2026 පෙබරවාරි 15 වැනි  පැවැති පැවැති  සාකච්ඡාව සඳහා දෙමළ ජාතික කවුන්සිලය (TNC) යේ ප්‍රධාන හවුල්කාර පාර්ශ්වය වන ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA)  මෙන්ම සාකච්ඡාව සඳහා නිල වශයෙන් ආරාධනා කැර තිබු  උතුරු නැඟෙනහිර ප්‍රධානම දේශපාලන බලවේගය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ද සහභාගී වී නොමැති බවයි.

 එහෙත් දෙමළ ජාතික හරිත ව්‍යාපාරය, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්, යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්, හඬක් නැතිවුන්ගේ හඬ`සංවිධානය, යාපනය නල්ලුර් ශිවගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනකුම එම සාකච්ඡාව සදහා සහභගී වී තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ආණ්ඩුව ගෙන ඒමට උත්සාහ දරණ ඒකීය රාජ්‍ය පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කැර ඒ වෙනුවෙන් පෙඩරල් බලතල රැගත් ව්‍යවස්ථාවක් යෝජනා කිරීම සම්බන්ධව සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා පැවැත්වීමට පෙර දෙමළ ජාතික දේශපාලන පක්ෂ එකතුව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය  ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ (DTNA)  මාධ්‍ය ප්‍රකාශක හා EPRLF නායක හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කැර තිබු බවයි.

 යාපනයේ තරුණ කලාකරුවන්ගේ ශාලාවේදී 2026පෙබරවාරි 15පැවැත්වෙන සාකච්ඡාව සඳහා සහභාගී විය නොහැකි නමුත් ඒකීය රාජ්‍ය සංකල්පයට විරුද්ධ සේම පෙඩරල් බලතල රැගත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය ද පෙනී සිටින බව එම පක්ෂයේ නායක සී.වී.කේ. සිවඥානම් වට්ස් ඇප් පනිවිඩයක් හරහා දෙමළ ජාතික කවුන්සිලය (TNC) ට නායකත්වය සපයන TNPF නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් වෙත දැනුම් දී තිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

( Source -The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp