Impartial news reporting for a stronger democratic society
තායිවානය පිළිබඳ ටකාචිගේ ප්‍රකාශය ජපානයේ අතීත යුදකාමය යළි ඉස්මතුවීමක්ද ?

මෑතකදී බලයට පත් ජපාන අගමැතිනි සනායි ටකාචි තායිවාන අර්බුදය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ටෝකියෝව සහ බීජිං පාලනය අතර බරපතල රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් උද්ගත කිරීමට හේතුවී තිබේ. පාර්ලිමේන්තු සැසිවාරයක් අමතා අදහස් දැක්වූ ටකාචි, විශේෂයෙන්ම යුද නෞකා හෝ අවහිරතාවයක් මගින් තායිවානයට එරෙහිව චීනය විසින් ගනු ලබන යුදමය ක්‍රියාමාර්ගයක් ජපානයට “තම පැවැත්ම පිළිබඳ තර්ජනයක් එල්ල කෙරෙන තත්වයක් බැව් කියා සිටියාය. ජපාන අගමැතිවරියගේ මෙම ප්‍රකාශය හුදෙක් දේශපාලන වහසි බස් දෙඩවීමකින් ඔබ්බට ගිය කලාපීය වශයෙන් බරපතල ඇඟවිම් ඇති කළ හැකි ප්‍රකාශයකි. තායිවානයේ හදිසි අවස්ථාවක් තම රටේ පැවැත්ම පිළිබඳ තර්ජනයක් ලෙස හුවා දැක්වීම තුළින්, ටකයිචි ලබා දෙන ඉඟිය නම් එවැනි තත්වයකට යුධමය වශයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා ජපානය සිය 2015 ආරක්ෂක නීතිය බලාත්මක කළ හැකි බවයි.

2015 වසරේදී සම්මත කර ගනු ලැබූ සමූහ ආරක්ෂාවට අදාළ එම නීතියට අනුව, ජපානයට සෘජුව ප්‍රහාරයක් එල්ල නොවූවද තම “පැවැත්මට තර්ජනයක්” එල්ලවන තත්වයක් තුළ හිතවත් රටකට ඊට සහාය ලබාදිය හැකිය. තායිවානය සම්බන්ධව උද්ගත විය හැකි තත්වයක් පූර්වයෙන් උපකල්පනය කරමින්, එවැනි විටෙක යුදමය වශයෙන් ඊට පිළිතුරු ලබාදීමේ ප්‍රවේශයකට යාමට ජපානයේ නව නායකත්වය දක්වන අභිරුචිය කලාපීය වශයෙන් ජපන් ඉරියව්වේ විභව වෙනසක් සනිටුහන් කරන්නකි.

“නිහොන් ගුන්කොකු ෂුගි” යනු ජපාන අධිරාජ්‍යයේ දෘෂ්ටිවාදය වූ අතර එය ජාතියේ දේශපාලන හා සමාජීය ජීවිතය තුළ මිලිටරිවාදය ආධිපත්‍යය දැරිය යුතු බවටත්, හමුදාවේ ශක්තිය ජාතියක ශක්තියට සමාන බවටත් විශ්වාසය වෙනුවෙන් පෙනී සිටියේය.

ටකයිචිගේ ප්‍රකාශය ජපාන අධිරාජ්‍යවාදයේ අතීත ආක්‍රමණ ජනතාවට සිහිපත් කර දෙන අතරම රටේ යුදමය අභිලාෂයන් හෙළිදරව් කරන්නකි. ජපානය, 1931 සිට 1945 දක්වා චීනය ආක්‍රමණය කිරීම ඇතුළු තම ඉතිහාසය පුරාවටම, ඊනියා ජාතික පැවැත්ම පිළිබඳ අර්බුදවලට මුහුණ දීමේ මුවාවෙන් බොහෝ රටවලට එරෙහිව ආක්‍රමණ දියත් කළ බැව් නොරහසකි. ජපානය එලෙස දියත් කළ ආක්‍රමණශීලී යුද්ධ හේතුවෙන් ආසියානු රටවල් කිහිපයකටම තම පැවැත්ම පිළිබඳ අර්බුද ඇති වී ඇති අතර කලාපයේ සහ ඉන් ඔබ්බට ජනතාව මත කිව නොහැකි තරම් දුක් වේදනා ඇති කර තිබේ.

චීනය සම්බන්ධයෙන් ටකයිචිගේ මේ ප්‍රකාශය කිසිසේත්ම හුදකලා සිදුවීමක් ලෙස බැහැර කරන්න පිළිවන් කමක් නෑ. මේක කලාපීය භූදේශපාලනික වුවමනා එපාකම් මත යාවත්කාලීන කරන ලද මිලිටරිවාදය වේගවත් කිරීමට අදාළ පුළුල් න්‍යාය පත්‍රයක කොටසක්. අගමැතිවරියගේ මේ ප්‍රකාශය පිටුපස තියෙන්නේ රටේ සාම ව්‍යවස්ථාව අථරිමින් “‍යුදමය බලවතෙකුගේ” තත්ත්වය පැමිණීමට උත්සාහ කරන ජපාන දක්ෂිණාංශික බලවේගවල ව්‍යාකූලත්වය සහ උඩඟුකම මිසක් අන් කිසිවක් නොවෙයි.

ඩයිනෝසරයින්ට පන පොවන්නාක් මෙන්, මෑත වසරවලදී ජපානය තම ආරක්ෂක ප්‍රතිපත්තිය දැඩි ලෙස යළි සකස් කරමින්, ආරක්ෂක වියදම් වැඩි කරමින්, අවි අපනයන සඳහා ඇති සීමාවන් ලිහිල් කරමින්, ප්‍රහාරාත්මක අවි සංවර්ධනය කිරීමට උත්සාහ කරමින් සහ මිලිටරි ගොඩනැගීමේ වැරදි මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටී.

මේ නිසාම, ටකයිචිගේ ප්‍රකාශය පසුපස ඇති දේශීය මෙන්ම විදේශීය දේශපාලන සහ භූදේශපාලනික අරමුණු කවරේදැයි විමසා බැලීම වැදගත්.

* ජපාන අගමැතිවරියගේ ප්‍රකාශය පසුපස ඇති දෘෂ්ටිවාදාත්මක පදනම:

ටකයිචිගේ ප්‍රකාශ දැඩි මතධාරී කණ්ඩායම් අතර ඇගේ ජනප්‍රියතාවය තහවුරු කර ගැනීම අරමුණු කර ගත හැකි බව ඇතෑම් විශ්ලේෂකයින්ගේඅදහසයි. ඇගේ දේශපාලන පදනම ශක්තිමත් කරගනිමින් ආරක්ෂාවට අදාළ දැඩි ප්‍රතිපත්තියක් ප්‍රදර්ශනය කරමින් චීනයේ නැගී එන බලයට මුහුණ දීමට ඇය වඩාත් කැමැත්තකින් පසුවන බැව් පෙනේ.

* රාජ්‍යතාන්ත්‍රික සබඳතා නිසි ලෙස තුලනය කිරීම. අභියෝගය : පරස්පර විරෝධී ලෙස, ඇය ආරක්ෂාව පිළිබඳ දැඩි මතයක පිහිටා ක්‍රියා කරන අතරම, ඇය ජපානයේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන චීනය සමඟ ආර්ථික සබඳතා ද ආරක්ෂා කර ගත යුතුය. බීජිං පාලනය සමඟ පූර්ණ බිඳීමක් ඇති නොකර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ජපානයේ නව නායකත්වය හමුවේ ඇති අභියෝගයකි.

* දේශීය වශයෙන් එල්ල වන විවේචනවලට මුහුණදීම: අගමැතිවරියගේ ප්‍රකාශයට ජපානයේ සියල්ලන්ම පාහේ එකඟවේ යැයි පිළිගත නොහැක. ඇතැමුන් ඇයගේ අදහස් එතරම් සැළකිල්ලට නොගඝයුතු බැව් සළකති. උදාහරණයක් ලෙස, ජපන් මාධ්‍යවල විචාරකයින්ගේ තර්කය නම් ටකයිචි තම “උපායමාර්ගික අස්ඵූටභාවය” අතහැර දමා සංවේදී කාරණයක් ජනතා ආකර්ශණය දිනා ගැනීමේ ප්‍රයෝගයක් ලෙස යොදා ගන්නා බවයි. ආරක්ෂාව පිළිබඳ යථාර්ථයන්හි සැබෑ වෙනසකට ප්‍රතිචාර දැක්වීමට වඩා ඇය දේශපාලන වාසි තකා තායිවාන ප්‍රශ්නය අයුතු අන්දමින් දේශපාලන වාසි තකා අවභාවිත කරන බවට ඇතැම්හු කණස්සල්ල පළ කරති.

චීනයේ ප්‍රතිචාරය

ජපාන අගමැතිවරියගේ ප්‍රකාශයට චීනය දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න විමසා බැලීමට පෙර තායිවාන ගැටළුවේ විශේෂ ස්වභාවය පැහැදිලි කිරීමක් අත්‍යාවශ්‍යය. තායිවාන ගැටළුව යනු චීනයේ අභ්‍යන්තර කටයුතු වලට අයත් කාරණාවකි — එය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු එකඟතාවය මත පිහිටි එක්-චීනයක් පිළිබඳ ප්‍රතිපත්තිය යටතේ ස්ථිරව පිළිගත් සම්මුතියකි. එබැවින්, තායිවාන ප්‍රශ්නයට ජපානය අත පෙවීම පිළිගත් අන්තර්ජාතික මූලධර්ම උල්ලංඝනය කිරීමක් වන අතර එය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමට සමාන දැඩි දේශපාලන අවදානමක් බවත් පැහැදිලිව වටහාගත යුතුය.

අපේක්ෂා කළ යුතු පරිදිම බීජිං හි ප්‍රතිචාරය වේගවත් හා තියුණු ය. චීන විදේශ අමාත්‍යාංශය තකයිචිගේ ප්‍රකාශ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් ලෙස දැඩි ලෙස හෙළා දුටු අතර එය “වැරදි”, “භයානක” සහ එක්-චීන ප්‍රතිපත්තියක් පිළිබඳ සිද්ධාන්තය උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්වීය.

චීන රජයේ මාධ්‍යය ද ජපානයට එරෙහි ප්‍රහාර උත්සන්න කළ අතර, තකයිචි “දේශපාලන අවස්ථාවාදියෙකු” ලෙස හැඳින්වූ අතර තායිවාන් ප්‍රශ්නය තීව්‍ර කිරීම සඳහා ඇයට “මිලක් ගෙවීමට” සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීය. මේ අතර, චීන හමුදා ආඛ්‍යානය වූයේ ජපානය එහි ගම්‍ය තර්ජනය මත ක්‍රියා කළහොත් ප්‍රතිවිපාක ඇති විය හකි බවයි.

කලාපීය ආරක්ෂාව සඳහා ඇඟවුම්

1. ජපානයේ ජාතික ආරක්ෂාවට අදාළ තර්ජන පිළිබඳ සංජානනයේ වෙනසක්

තායිවානයේ උද්ගත වන හදිසි අවස්ථාවක් ජපානයේ පැවැත්මට අදාළ තර්ජනයක් ලෙස ටකයිචි විසින් රාමු කිරීම ජපන් ආරක්ෂක මූලධර්මය නැවත අර්ථ දැක්වීමක් බවට අර්ථනිරූපනය කළ හැකිය. ජපානයේ පැවැත්ම තායිවානය හා සම්බන්ධ ප්‍රතිඵලයට පැහැදිලිව සම්බන්ධ කිරීමෙන්, තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ගැටුම දුරස්ථ එක්සත් ජනපද ගැටලුවක් ලෙස නොව සෘජුව ජපානයට අදාළ කාරණාවක් ලෙස රාමුගත කිරිමට ඇය වැඩි කැමැත්තක් දක්වයි.

2. යුධමය සහභාගීත්වය සඳහා ඇති විභවතාවය

තායිවානය හා සම්බන්ධ ජපානයේ සැබෑ ස්ථාහාවරය මෙය නම්, අර්බුදයකදී ජපානය තම ස්වයං-ආරක්ෂක හමුදා යෙදවීමට හෝ අවම වශයෙන් එක්සත් ජනපදය මෙහෙයවන ක්‍රියාමාර්ගයට සහාය වීමට දේශපාලනිකව සහ නීත්‍යානුකූලව සූදානම් විය හැකිය. මෙය අවදානමක් සහගත තත්වයක් උද්ගත කරයි: එවැනි ක්‍රියාමාර්ගයක් ප්‍රකෝපකාරී වූවක් ලෙස චීනය කල්පනා කළ හැකි අතර එමගින් කලාපීය මිලිටරිකරණය තවදුරටත් ඉහළ නැංවිය හැකිය. තවද, තායිවාන සමුද්‍ර සන්ධියේ අර්බුධයට ජපානය ද ගැඹුරින් ඇද දැමිය හැකිය.

3. ආර්ථික පළිගැනීමේ අවදානම

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්බුදයට ලක්වීම සෘජුවම ආර්ථික පසුබෑමකට හේතු විය හැකිය. චීනය දැනටමත් මීට ප්‍රතිචාර දැක්වීමට කැමැත්තෙන් සිටින බව පෙන්වා දී ඇත: දැඩි පණිවිඩ යැවීමෙන් නොනැවතී, ජපානයේ ප්‍රතිපත්තිය වඩාත් ගැටුම්කාරී වුවහොත් චීනය තම ආර්ථික ලීවරය (වෙළඳාම, සංචාරක, මූල්‍ය වෙළඳපොළ) ටෝකියෝවට එරෙහිව භාවිතා කළ හැකිය.

4. ජපාන-චීන සබඳතාවලට ඇති බලපෑම
මෙම ආරවුල ජපාන-චීන සබඳතාවල අනාගත ගමන් පථය පිළිබඳව ගැටළුකාරී තත්වයක් මතු කරයි. තකයිචි “නිර්මාණාත්මක සහ ස්ථාවර” සබඳතා පවත්වා ගැනීමට උනන්දුවක් දක්වා ඇත (APEC හිදී ෂී ජින්පිං සමඟ ඇය මේ බැව් අවධාරණය කළාය). නමුත්, මෑත කාලීන අදහස් එම අභිලාෂයන් යටපත් කිරීමේ අවදානමක් ඇත.

5. තායිවානයට සහ මිත්‍ර පාක්ෂිකයින්ට සහතික කිරීම

තායිවානයේ බෙදුම්වාදී කණ්ඩායම්වලට සහ එහි සහචරයින්ට (විශේෂයෙන් අමෙරිකා එක්සත් ජනපදයට) ටකයිචිගේ ප්‍රකාශය සතුටට කාරණයක් විය හැකිය. අර්බුදයට එක්වීමට ජපානය ද කැමැත්තෙන් පසුවන බවට සංඥා නිකුත් කිරීමෙන් චීනය දුර්මුඛ කළ හැකි අතර තායිපේට වඩා ශක්තිමත් ආරක්ෂක සහතිකයක් ලබා දිය හැකිය.

6. වැරදි ගණනය කිරීමේ අවදානම

ඊශ්‍රායල- පලස්තීතීන අර්බුදය, යුක්‍රේන-රුසියා යුද ගැටුම, ඉන්දියාව සහ පකිස්තානය අතර ආතතීන් ඇතුළු අප වර්තමානයේ ජීවත් වන්නේ බෙහෙවින් අර්බුදකාරී සමයකය. ජපාන අගමැතිවරියගේ මේ ප්‍රකාශය, විශේෂයෙන් වැරදි ලෙස අර්ථකථනය කළහොත්, ආතතීන් භයානක ලෙස උත්සන්න කළ හැකිය. ටෝකියෝ පාලනය තාය්වානය පිළිබඳ ගැ ටළුවට මැදිහත් වීමට ඕනෑවට වඩා සූදානම් බවක් පෙනේ නම්, චීනය ද වඩාත් ආක්‍රමණශීලී ලෙස ඊට ප්‍රතිචාර දැක්වීමට පෙළඹෙනු ඇති අතර, වැරදි විනිශ්චයන් පුළුල් ගැටුමක් දක්වා ව්‍යාප්ත විය හැකිය.

තායිවානය පිළිබඳ ටකයිචිගේ ප්‍රකාශය චීන-ජපාන සබඳතා පිළිබඳව මෙන්ම කලාපීය භූදේශපාලනය හා සම්බන්ධ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරනවා. ජපානය තම පැවෑත්මට අදාළ තර්ජනයක් ලෙස තායිවාන සමුද්‍ර සන්ධි ගැටුම අර්ථ දැක්වීම හුදෙක් මවාපෑමක් පමණක් නොවෙයි – ජපාන අගමැතිවරිය ටෝකියෝව එහි ජාතික අවශ්‍යතා සහ ආරක්ෂක බැඳීම් දකින ආකාරය නැවත අර්ථකථනය කරන බවක් දකින්න පිළිවන්. මේක ඇය විසින් තබන ලද අභීත පියවරක් වන අතර, තම දේශපාලන පදනම තහවුරු කර ගැනීම, මිත්‍ර පාක්ෂිකයින්ට තම අධිෂ්ඨානය සංඥා කිරීම සහ චීනයේ ඉදිරි ගමන වළකාලීම මෙය පසුපස ඇති බැව් පැහෑදිලියි.

නමුත් මෙය ඉතාමත් දැඩි අවදානම් සහගත දේශපාලන සූදුවකි. චීනයෙන් ඊට එල්ල වන දැඩි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරය, කලාපීය ආතතීන් උත්සන්න වීමට ඇති විභවය සහ දේශීය වශයෙන් සහ කලාපීය වශයෙන් ඊට එරෙහි ප්‍රතිවිරෝධතා යන සියල්ල මෙය උඩුගම් බලා පිහිනීමක් බවට පත කරනු ඇත. මෙය වැරදි විදිහට හැසිරවුවහොත්, එමගින් ජපාන-චීන සබඳතා අස්ථාවර විය හැකි අතරම, ජපානය කලාපීය ගැටුමකට යොමු කළ හැකිය. එවැනි තත්වයක් ජපානයේ පශ්චාත් යුධ අනන්‍යතාවයට අර්බුධයට ඇද දමමින් නැගෙනහිර ආසියාවේ උපායමාර්ගික භූ දර්ශනයට අදාළ ටෝකියෝ පාලනයේ කලාපීය භූමිකාව නැවත හැඩගස්වාලනු නිසැකයි. (උපුටා ගැනීම – නොවැම්බර්, 26, 2025, විජය දිසානායක – දිනමිණ පුවත් පතට ලියන ලද ලිපියක් ඇසුරෙන් )

Follow by Email
LinkedIn
Share
WhatsApp