Impartial news reporting for a stronger democratic society
‘ට්‍රම්ප් දැන් දෙකොණ රත්වෙලා පිස්සුවෙන් වගේ නන් දොඩවනවා’
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:40

එක පැත්තකින් ඉරානයත් එක්ක කරන සාකච්ඡාවක් ගැන කතා කරන ට්‍රම්ප්, අනිත් පැත්තෙන් දිගින් දිගටම ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා.
ගුවන් ප්‍රහාරවලින් ඉහළම නායකයෝ 50ක් විතර මරල දැම්මට පස්සේ ට්‍රම්ප් සහ නෙතනියාහු හිතුවේ ඉරානයේ මිනිස්සු කැරලි ගහල රටේ පාලනය පෙරලලා දාවි කියල.

ඒත් මිනිස්සු කැරලි ගැහුවෙත් නෑ. ඉස්ලාමීය පාලනය බිඳ වැටුණෙත් නෑ.
පෙබරවාරි 28 වැනි දා ඉඳල මාසයකට වැඩි කාලයක් ඉරානයත් ප්‍රති ප්‍රහාර එල්ලකරමින් ඉන්නවා. මේක ට්‍රම්ප් සහ නෙතනියාහු කොහෙත්තම බලාපොරොත්තු නොවුණ තත්ත්වයක්.
එන්න, එන්නම තෙල් මිල අහස උසට ඉහළ යද්දී, විශේෂයෙන්ම පොහොර හිඟයත් එක්ක ලෝකේ පුරාම දැවැන්ත ආහාර හිඟයක් ගැන අනතුරු පළවෙද්දී, මේ අවුරුද්දේ අග මැතිවරණයකුත් තියාගෙන  අමෙරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් ගේ ජනප්‍රියත්වය පහළ වැටෙද්දී දැන් ට්‍රම්ප් උමතුවෙන් වගේ දඟලනවා, කියවනවා.

ට්‍රම්ප් – නෙතනියාහු දෙබෑයෝ දැන් ඉන්නේ ගලේ පහරපු බළල්ලු වගේ.
මේ වෙනකොට යුක්රේන භූමි ප්‍රමාණයෙන් 20% ක් විතර අල්ලාගෙන හිටියත් ජීවිත ලක්ෂ 12ක් විතර විනාශ කරගෙන ව්ලදිමීර් පූතින් මුහුණ දීලා ඉන්නෙත් මේ වගේම අත්දැකීමකට.  
අයතොල්ලගේ පාලනයට විරුද්ධව පාරට බැහැපු මිනිස්සු දාස් ගාණක් මරල දැම්මට පස්සේ කැරලි ගහන්න පුළුවන් වාතාවරණයක් ඉරානයේ නැති බවත් ඇත්ත.

ඒත් පූතින් යුක්රේනය ආක්‍රමණය කරන තුරු රුසියාවට පක්ෂව හිටපු යුක්‍රේනයේ ජීවත්වෙන බොහෝ රුසියානුවෝ පවා රුසියානු ආක්‍රමණයෙන් පස්සේ යුක්රේනය පැත්තට හැරුණ. මේ වෙනකොට ඉරානයේ තියන තත්ත්වය ගැන හරි තොරතුරක් ගන්න ගොඩක් අසීරු වුණත්, සමහර විට ඉරානයේත් එදා අයතොල්ලට විරුද්ධව පාරට බැහැපු සමහර මිනිස්සුත් දැන් අනිත් පැත්තට හැරිලා ඉන්න ඉඩ තියෙනව. මොකද මොන ප්‍රශ්න තිබුණත් මිනිස්සු කැමති නැහැ පිටින් ආපු එකෙක් ගෙදර ප්‍රශ්නවලට අත ගහනවට.

දවසෙන් දෙකෙන් ඉරානයේ පාලනය පෙරලන්න බලාගෙන ආපු ට්‍රම්ප් දැන් දෙකොණ රත්වෙලා පිස්සුවෙන් වගේ නන් දොඩවනවා.
ට්‍රම්ප් සහ නෙතනියාහු ගෙදර ප්‍රශ්න යට ගහන්න දහස් ගණන් ජීවිත බිලිගනිමින් ඉන්න අතරේ, ඉරානයත් දැනුවත්ව පාකිස්තානයේ ප්‍රධානත්වයෙන් සාම මෙහෙයුමකුත් ක්‍රියාත්මක වෙනවා. සවුදි අරාබිය, ඊජිප්තුව සහ තුර්කියත් ඒ ප්‍රයත්නයට සහය දෙනවා. ට්‍රම්ප් සහ නෙතනියාහු ලෝකෙට කරමින් ඉන්න මේ විනාශය නවත්වන්න ඒ රටවල් අවංක උත්සහයක් දරුවත් යුද්ධය ආරම්භ කළ ජාතිවාදී සහ අන්තවාදී නායකයන් දෙන්න ගැන විශ්වාසයක් තියන්නත් අමාරුයි.  
එක දවසක් සාකච්ඡා ගැන කතා කරන උන්මත්තක ට්‍රම්ප්, ඊට පස්සේ ඉරානයේ කාග් දූපත අල්ලගන්න බව කියනවා. කාලයක් නොබෙල් සාම තෑග්ග ගැන උමතුවෙන් හිටපු මේ අතිශය භයානක නායකයා, අද කියනවා ඉරානය සටන් විරාමයකට එකඟ වුණේ නැත්නම් ඉරානයේ බලශක්ති මධ්‍යස්තාන සහ තෙල් ලිං “අතුගා දමනවා” කියල.
මට තියන ප්‍රශ්නය මේ වගේ උමතු මිනිහෙක් සහ හිරේ ඉන්න ඕනෑ මිනිහෙක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ජනාධිපති පුටුවේ වාඩි කරපු අමෙරිකා එක්සත් ජනපදයේ ඡන්දදායකයෝ කරපු විනාශය නිසා කිසිම වරදක් නොකරපු මුළු ලෝක ජනගහනයම දුක් විඳිය යුත්තේ ඇයි කියන එක.

ඒ දවස්වල රූපවාහිනියේ ගියපු ලකී ඩයස් ගේ advertisement එකක් මට මතක් වෙනව.

” මේ ලෝකේ යුක්තිය, සාධාරණය කියල දෙයක් ඇත්තෙම නැද්ද? “

———————————————————–

| මාර්තු තුන් වැනිදා ප්‍රාථමික පාසලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මියගිය පාසල් දරුවන්ගේ සිරුරු මිහිදන් කරන්න වලවල් කපන ආකාරය

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(2026 මාර්තු 30-Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්…) 

(මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කැර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.)

Follow by Email
LinkedIn
Share
WhatsApp