
ගෝලීය තෙල් අර්බුදය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ යෝජනාවකට අනුව තෙල් බැරල් මිලියන 400කට වෙළෙඳ පොළට මුදා හැරීමට සාමාජික රටවල් එකඟතාව පළ කැර ඇති බව අනාවරණය වෙයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් විසින් මුදා හරිනු ලබන ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මෙය බවයි. 2022 වසරේදී යුක්රේන යුද්ධය හේතුවෙන් හදිසි අවශ්‍යතාව මත ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ,වෙළෙඳපොළට නිකුත් කළ ප්‍රමාණයට වඩා තෙල් බැරල් මිලියන 182ක් මෙවර මුදා හැරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහා කරයි. කෙසේ වුවත් ඉරානය මේ වනවිට අවහිර කර ඇති හෝමූස් සම්‍රුද්‍ර සන්ධියෙන් දිනකට තෙල් බැරල් මිලියන 20ක් වෙළෙඳපොළට නිකුත් කරන බැවින් බලශක්ති ඒජන්සිය නිකුත් කිරිමට නියමිත තෙල් සංචිතය දින 20කට පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉරාන යුද අර්බුදයෙන් තෙල් මිල ඉහළ යෑම සහ බලශක්ති යටිතල පහසුකම් ප්‍රහාරවලින් විනාශ වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් අර්බුදය පෙර නොවූ විරූ ආකාරයෙන් ඉහළ ගොස් ඇති බැවින් සිය සාමාජික රටවල් තෙල් සංචිත මුදා හැරීමට එකඟතාව පළ කිරීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කැර තිබේ.
එම යෝජනාවට බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් 32කම එකඟතාව පළ කර ඇති අතර, අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ජපානය, ප්‍රංසය ඇතුළු ලොව ප්රබලතම රටවල් ද ඊට ඇතුළත්ය. මිට පෙර 1991, 2005, 2011 සහ 2022 වසරේ අවස්ථා දෙකකදී බැගින් තෙල් සංචිත නිකුත් කළ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය එවැනි පියවරක් ගෙන ඇත්තේ 6 වැනි වරටය.
වසර 1973 උද්ගත වූ ලෝක තෙල් අර්බුදයෙන් පසු පිහිටුවා ගත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ගෝලීය තෙල් අර්බුදයකදි භාවිතයට ගැනීම සඳහා දින 90කට සරිලන ආකාරයෙන් තෙල් සංචිත පවත්වාගෙන යන ලෙස සිය සාමාජික රටවලට උපදෙස් ලබා දී ඇති අතර, මේ වනවිට එම රටවල් සතු සමස්ත තෙල් සංචිතය බැරල් බිලියන 1.2ක් වන බව ද සඳහාන් වේ.(දිනමිණ ඇසුරෙන්)
