Impartial news reporting for a stronger democratic society
චෙම්මනි සමූහ සුසානයේ කැනීම් අප්‍රේල් 20 වැනි දා නැවත ආරඹන්න සූදානමක්  

ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම්  කටයුතු අප්‍රේල් 20 වැනි  ආරම්භ  කරන ලෙස අධිකරණය කැර තිබේ.

මාස හයකට ඉහත දී වැඩ අත්හිටවූ තිබු  චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය මාර්තු 16 වැනි  දා යළි කැදවීමට නියමිතව තිබුණත් එම නඩු විභාගය මෝසමක් මාර්ගයෙන් මාර්තු 12 වැනිදා කැදවු අවස්ථාවේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් සමුහ සුසානය නිරීක්ෂණය කිරීම සඳහා ගොස් තිබුණේ අධිකරණ වෛද්‍ය නිලධාරී, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නීතිඥයන්ද කැටුවයි.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී .එස්. නිරංජන් පවසන්නේ සමුහ සුසාන භුමිය නිරීක්ෂණය කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් මත කැනීම් කටයුතු යළි ආරම්භ කිරීමේ යෝජිත දිනය අප්‍රේල් 20 වැනි  දා බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කළ බවයි.
ඒ සම්බන්ධයෙන් ඇති සුදානම සහ ප්‍රගතිය සමාලෝචනය  සඳහා නඩු විභාගය අප්‍රේල් 08 වැනිදා යළි විභාගයට ගැනීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කැර තිබේ.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. එස් .නිරංජන් පවසන්නේ කැනීම් කටයුතු නවතා තිබු මාස හයක කාලය තුළ සුසාන භුමිය තණකොළ වැවී, වැසි ජලයෙන් හානි වී ඇති බැවින් සතියකට දින දෙකක් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ භුමිය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නල්ලූර් ප්‍රදේශිය සභාවට නියෝග කළ බවයි.

සමූහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු සඳහා පසුගිය වසරේ ඉල්ලා තිබු රුපියල් මිලියන 19 ක මුදල අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා දී තිබුණත් ප්‍රදේශයේ ඒ වන විට පැවැති වැසි තත්ත්වය හමුවේ කැනීම් කටයුතු මේ වන තෙක්ම ආරම්භ කිරීමට නොහැකි වු අතර, 2025 වසර අවසන් වීම හේතුවෙන් එම මුදල් මේ වසර මුලදි  ආපසු හරවා යවන්නට සිදුව තිබුණි.
ඒ අනුව තවත් දින පහස් හයක කාලයක් කැනීම් කටයුතු සඳහා අවශ්‍ය මුදල් ඇස්තමේන්තුවක් පසුගිය නඩු වාරය වු 2026 පෙබරවාරි 09 වැනි  දා  යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්   යළිත්වරක්  අධිකරණයට ඉදිරිපත් කැර තිබු අතර, මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරියාට සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ට මාර්තු 12 වැනිදා නියෝග කැර ඇත්තේ එහි ප්‍රගතියද අධිකරණයට වාර්තා කරන ලෙසයි.


පළාත් බද මාධ්‍යවේදීන්ට දැන ගන්නට ලැබී ඇත්තේ එලෙස කැනීම් කටයුතු වෙනුවෙන් අලුතින් ඉල්ලුම් කැර ඇති මුදල රුපියල් මිලියන විසි එකක් පමණ වන  බවයි.අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය  කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.

දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල්  නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු  ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුණි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.(Source- The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp