Impartial news reporting for a stronger democratic society
චීන සබඳතාවලට මග පෙන් වූ ෆාහියන් හිමියන්ගේ ලංකා ගමන

චීන ශිෂ්ටාචාරයේ පෞරාණිකත්වය පිළිබඳ විමසා බලනවිට දුරාතීතයකට උරුමකම් කියන ලොව රටවල් කිහිපය අතරින් එකක් වන්නේ මහජන චීනයයි. චීන ශිෂ්ටාචාරය ආරම්භය මෙතෙක් යැයි නියමිත ලෙස අනාවරණය වී නැතත්, මෙයින් වසර 7000කට පෙර සිට චීන ශිෂ්ටාචාරය ආරම්භ වී ඇතැයි පුරා විද්‍යාඥයෝ පවසති. ඇතැම්හු ලෝක ශිෂ්ටාචාරයේ ආරම්භය ඇති වූයේ චීන මොංගෝලියාවෙන් යැයි ද කියති.

ඔවුන්ගේ පුරාවෘත්තයන්ට අනුව දිව්‍ය ලෝකයේ පුත්‍රයා යැයි විරුධාවලිය ලත් සූරියවංශික රජතුමා විසුවේ ද මෝගෝලියාවේය. පුරාවෘත්තයන්හි එන ෆු සී ෂෙන්, නූං හ්වෑංති යන රජවරු විසුවේ ද ක්‍රිස්තු වර්ෂාරම්භයට ශත වර්ෂ විසිපහකට තිහකට ඉහත දී බව ඉතිහාසය විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන කරුණකි.

චීන වංශකතාවලට අනුව ආගමික නායකත්වයත්, දේශපාලන නායකත්වයත් දෙකම දැරූ පූජක රාජ පරම්පරාවක් චිනයේ ඇරඹුණේ ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සහස්‍රයේ විසූ “යාඕ” (ක්‍රි.පූ. 2357-2258) රජුගෙනි.චීනයේ රාජවංශ ක්‍රමය ඇරඹුණේ “සියා” රාජවංශයේ “යූ” (ක්‍රි.පූ. 2205-2198)  රජුගෙන් අනතුරුව “ටෑං” (ක්‍රි.පූ. 1765-1760) රජුගෙන් “ෂෑ” රාජවංශයත් “වූ” (ක්‍රි.පූ. 1122-116)  රජුගෙන් “චෞ” රාජවංශයත් ආරම්භ විය. පුරාණ චීනයේ ප්‍රධාන රාජවංශ වූයේ මෙම “සියා”, “ෂෑං”, “චෞ” යන රාජවංශ තුන බව චීන ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී මැනවින් පැහැදිලි වෙයි.

ලෝකයේ අනිකුත් ජනතාව මෙන්ම චීන ජනතාව ද විවිධ ගෝත්‍රික මිශ්‍රණයන්ට භාජනය වූවෝ වෙති. වරින්වර හන් (හුන්), මෝන්ගෝල්, තුර්කි, ටාර්ටර් ආදී ගෝත්‍රිකයෝ චීනයට ඇවිත් එහි පදිංචි වූහ. සමහරු ඇතැම් පළාත්වල ආධිපත්‍ය ද ලබා ගත්හ. ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී චීනයේ ස්වාධීන රාජ්‍ය 5000-6000 අතර සංඛ්‍යාවක් තිබූ  බව ඉතිහාසඥයෝ සඳහන් කරති. පාලන බලය විසිරී පැවති ඒ කාලයේ දී ඉන්දියාවේ මෙන්ම චීනයේ ද විශාල බුද්ධිමය විප්ලවයක් ඇති වී තිබේ. චීනයෙන්ම පහළ වූ විශේෂිත ආගම් දෙකක්වන කොන්පියුසියස් ධර්මය සහ ලාන්සේ ධර්මයට චීනය තුළ පැතිරී ගය බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වෙයි.

කොන්පියුසියස් ධර්මය (උතුරු චීනයට) පීකිං නුවර ආශ්‍රිත ප්‍රදේශවලට ද, ලාඔන්සේ ධර්මය නැන්කින් අගනුවර කැර ගෙන දකුණු චීනයේ ප්‍රචලිත වූ බව සඳහන් ය. ඒ කාලයේ පටන් එම දකුණු-උතුරු භේදය විවිධ අංශ ඔස්සේ ඉතිහාසය කෙරේ බලපෑවේය. විශේෂයෙන් චීනය තුළ බුදු දහම ව්‍යාප්ත වන්නේ භාරත දේශය (ඉන්දියාව) පාලනය කළ අශෝක අධිරාජ්‍යයා යටතේය. එහෙත් ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ දී පමණ ෂිලීපා නමින් හැඳින්වූ භික්ෂුවක්, තවත් භික්ෂූන් කීප නමක් සමඟ එක්ව ධර්ම ප්‍රචාර කටයුතු සඳහා චීනයට ගොස් ඇත්තේ බෞද්ධ පොත්පත් රැසක් අත ඇතිවය. චීනයට පැමිණෙන කවර හෝ දෙයක් ගැනම සැක කළ එවකට සිටි ෂීනු-චා-තී නමැති රජ, මෙම බෞද්ධ භික්ෂූන් සිර ගත කොට ඔවුන් සතුව තිබූ පොත්පත් පුලුස්වා දැමීමට නියෝග කොට තිබේ. ඉන් අනතුරුව චීන ජාතිකයන්ට මහණ වීම තහනම් කරන ලද ආඥාවක් ද නිකුත් කරන ලද බව ඉතිහාසයේ සඳහන්ය. තවද, බෞද්ධ මහසංඝාරාම 4000ක් ද, තවත් විහාරස්ථාන 4000ක්ද විනාශ කරන ලදී. නැතහොත් ගිහියන්ගේ වාසස්ථාන බවට පත් කරන ලදී. භික්ෂු-භික්ෂුණීහු 2650000ක් ගිහි වූහ. එහෙත් බුදු සමයේ සතුරන්ට බෞද්ධ දර්ශනය සහමුලින්ම චීනයෙන් පිටු දැකීමේ අභිප්‍රාය ඉටුකර ගත නොහැකි විය. පසු කලක භික්ෂූන්ට නිදහසේ කටයුතු කැර ගෙන යෑමට අවස්ථාව ලැබුණ ද, ධර්ය තාවකාලිකව ව්‍යර්ථ වී ගැටලු රැසක් ද මතු විය.

ලංකා – චීන සබඳතා

මෙම පසුබිම පිළිබඳව අවදානය යොමු කිරීමේ දී මැනවින් තහවුරු වන්නේ, ෆාහියන් හිමියන් ක්‍රිස්තු වර්ෂ 399 දී සිය මිතුරන් වූ හුයි-ජිං-තඕ-චිජ, හුයි-යිං, හුයි සමඟ චීනයෙන් පිටත්ව “බුදු දහමේ විනය පිටකය” සොයා වසර 15ක් මධ්‍යම ආසියාවේ එවකට පැවැති රාජධානි 35ක සංචාරය කැර ඇති බවයි. ජුතාන් රජගේ රට වූ ඡාං-යෙහ් නගරය, තුං-හු ආං දේශය, ෂෙන්-ෂෙන් දේශය, අග්නි දේශය, යූ-ටීන් (බෝටාන්) දේශය, ත්සේ-හෝ සහ යූ-හුයි ද්ශයන්, බල්ඡා දේශය, තෝ-ලීහ්-දේශය, භයංකර දුර්ග තරණය, චූ-චෑං (උද්‍යාන) දේශය, සූ-හෝතෝ (සුවාස්තු) දේශය, ගන්ධාර දේශය, තක්ෂිලා දේශය, පුරුෂපුර රාජ්‍යය, හිලෝ නගරය, නගරහාර දේශය, ලෝඊ, පෝහ්නා, පෙටු දේශය, මථුරා දේශය, මධ්‍යම රාජධානිය, සාංකස්‍ය දේශය, අග්නිදග්ධ විහාරය, කන්‍යාකබ්ජ නගරය සහ හරිග්‍රාමය, ශාජේ (සාකේත) මහාදේශය, කෝශල දේශය, කපිලවාස්තු පුරය, රාමග්‍රාම දේශය, ලිච්ඡවී රජුන් බුදුන් වහන්සේට අවසාන වන්දනාව කළ තැන, වෛශාලී දේශය ඇතුළු මහා භාරතයේ බුදුන් වැඩ විසූ තැන් පිලිබඳව ෆාහියන් හිමියන් සිය දේශාටන වාර්තාව තුළින් අංග සම්පූර්ණ විස්තරයක් කැර තිබේ. විශේෂයෙන් ගන්ධාර දේශයේ සහ තක්ෂිලා දේශය තුළ ප්‍රචලිතව තිබූ බුදු දහමත් ඒ ඇසුරින් පෝෂණය වූ කලා නිර්මාණ පිළිබඳ විස්තරයක් උන්වහන්සේ කැර තිබිණි. චීනයේ සිට පර්සියාව දක්වා විහිදී ගිය සේද මාවත ඔස්සේ සංක්‍රමණය වූ බව කියන “කුෂාණ” ගෝත්‍රිකයන් පළමු වැනි ශත වර්ෂයේ සිට තුන්වැනි ශත වර්ෂය තෙක් වූ කාලය තුළ ගන්ධාර දේශයේ සිය බලය තහවුරු කැරගෙන තිබිණි. ගන්ධාර දේශයේ රජු වූ කුෂාණ රාජවංශික කණිෂ්ක රජුගේ රජය සමයේ ඇති ව තිබූ බෞද්ධාගමික පුණර්ජීවය ෆාහියන් හිමියන්ගේ පැසසුමට ලක්ව තිබේ. (ක්‍රි.පූ. පළමු වැනි සියවසේ පමණ සිට ක්‍රි.පූ. හත්වැනි සියවස තෙක් වූ කාලසීමාවේ දී මේ දේශය නමින් ම ප්‍රභව වී ඔපමට්ටම් වූ කලාව, ගන්ධාර කලාව නමින් පසු කලෙක ලොව පුරා ප්‍රකට විය.) ඉන්දියාවේ මහායාන බුදුසමය ආරම්භය පිළිබඳවත්, එය මධ්‍යම ආසියාව තෙක් පැතිර යෑම පිළිබඳවත් තවත් සාර්ථක විග්‍රහයක් උන්වහන්සේ කැර තිබේ. විශේෂයෙන් මධ්‍ය ආසියාවටත්, බටහිර චීනයටත් එම මහායාන බුදු දහම ව්‍යාප්ත වීම පිළිබඳව ෆාහියන් හිමියන් සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

ලංකාව හා චීනය අතර රාජ්‍ය සබඳතා වර්ධනය වීමට මූලික පදනම වන්නේ බුදු දහම බව සැගවිය නොහැකි කරුණකි. විශේෂයෙන්, චීන දේශාටක භික්ෂුවක් ලෙස ප්‍රකට ෆාහියන් හිමියන් ක්‍රිස්තු වර්ෂ 411 සිට ක්‍රිස්තු වර්ෂ 413 තෙක් ලංකාවේ වාසය කරමින් මෙරට බෞද්ධ සංස්කෘතිය සහ ථේරවාදී බුදු දහමේ “විනය පිටකයන්” ගැන අවබෝධයක් ලැබීය.

ෆාහියන් හිමියන් සිය දේශාටන වාර්තාවෙන් අපට පෙන්වා දෙන වැදගත් කරුණක් වන්නේ, මහවංශය (මහවංශය යනු ලංකා ඉතිහාසය ලියා ඇති කෘතියකි) රචනා කළ කතුවරුන් හිතා මතා සැග වූ ඇතැම් තොරතුරු උන්වහන්සේ සිය දේශාටන වාර්තාවෙන් අපට පෙන්වා දෙන බවයි. නිදසුනක් ලෙස ක්‍රි.ව.410 සිය ක්‍රි.ව. 432 අතර කාල පරිච්ඡේදයේ අනුරාධපුර රාජධානිය (ලංකාවේ පැරණි රාජධානියක්) පාලනය කළ මහානාම රජතුමා පිළිබඳව, මහවංශයේ සටහන් වන තොරතුරු වලට වඩා වැඩි තොරතුරක් ෆාහියන් හිමියන් සිය දේශාටන වාර්තාවෙන් පෙන්වා දී තිබේ. විශේෂයෙන් මහානාම රජතුමා බෞද්ධාගමට තිබූ භක්තිය සහ ලැදියාව ෆාහියන් හිමියන් මැනවින් විස්තර කැර තිබේ.

ෆාහියන් හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා අනුරාධපුර අභයගිරිය විහාරයේ වැඩි කාලයක් වාසය කැර තිබේ. උන්වහන්සේ සියැසින් දුටු ලංකාවේ ආගමික උත්සව ගැනත්, බෞද්ධාගමික් පුද පූජා ගැනත්, අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන්ම දළඳා වහන්සේ පිළිබඳවත්, චේතියගිරිය හෙවත් මිහින්තලා සංඝාරාමයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පිළිබඳවත්, ශ්‍රී පාදය පිලිබඳවත් සිය වාර්තාවල මැනවින් සඳහන් කැර ඇත. එමෙන්ම ඒ කාලයේ ලංකා සමාජය තුළින් ෆාහියන් හිමියන්ට අසන්නට ලැබුණු ජන කතා ද සිය වාර්තාවට ඇතුළත් කිරීමට අමතක කැර නැත.

නිදසුනක් ලෙස අනුරාධපුර දළඳා පෙරහරේ තිබුණ අලංකාරය සහ එහි විචිත්‍රවත් බව ෆාහියන් හිමියන් සිය දේශාටන වාර්තාවේ සඳහන් කැර ඇත්තේ මේ අන්දමින්ය. සිරිත් පරිදි දන්ත ධාතූන් ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ තුන් වැනි මස මැදදීය. ප්‍රදර්ශනය ආරම්භ කිරීමට දින 10කට කලින් රජතුමා විසින් හස්ත්‍යාභරණයෙන් සරසවා ඌ මතුයෙහි පිට නැගී රාජකීය සළු පිළියෙන් සැරසුණු ව්‍යක්ත කථිකයෙකු නංවයි. ඉක්බිති ඔහුට බෙරයක් වයා (සෙනග රැස් වූ කල්හි) පහත සඳහන් ප්‍රකාශය කරන ලෙස අණ කරයි. බුදු රාජණන් වහන්සේ හා බෝධිසත්ව කාලය ගැන යයි. සියලු මාර්ග සරසා මල් පහන් රැගෙන දළඳා වහන්සේට පුද පූජා පැවැත්වීමට ජනතාවට පැමිණෙන ලෙස දන්වා සිටී. එම ප්‍රකාශ කළ පසුව ජාතක කතා චිත්‍රයට නගා මාර්ග දෙපස ප්‍රදර්ශනය කරමින්, දළඳා පෙරහැර පැවැත්වෙන බව ෆාහියන් හිමියන් සිය වාර්තාවේ සඳහන් කරයි. මෙයට අමතරව අභයගිරිය, මහා විහාරය හා මිහින්තලේ භික්ෂූන් වහන්සේලා පිළිවෙලින් 5000ක්, 3000ක් හා 2000ක් ලෙසින් වැඩ වාසය කළ බව සඳහන් කරති. ෆාහියන් හිමියන් සංවේදී වූ අවස්ථා ද සිය වාර්තාවේ සඳහන් වෙයි. නිදසුනක් ලෙස, සිය ජන්ම භූමිය වූ චීනයෙන් පිට වී වසර ගණනාවක් ගත වී තිබිය දී අනුරාධපුරයේ බුදු පිළිමයකට පූජා කරන ලද පූජා භාණ්ඩයක් දැක තිබේ. ෆාහියන් හිමියන් සිය මව්බිම මතක් වී සිත ඉමහත් සංවේගයට පත් වී ඇත. බුදු පිළිමයට චීනය සාදන ලද “බට ලීයෙන් යුත් අවානක්” පූජා කැර තිබෙනු ෆාහියන් හිමි දුටුහ. බට ලී වලට චීනට ඉතා ප්‍රකටය. එහෙයින් එය සිය ජන්ම භූමියෙන් පැමිණි කෙනෙකු විසින් පූජා කරන්නට ඇතැයි ෆාහියන් හිමියන් විශ්වාස කැර තිබේ. විශේෂයෙන් සේද මාවත ඔස්සේ ගමන් කළ වෙළෙදුන් මාර්ගයෙන් ලංකා-චීන  බෞද්ධ සබදතා පෝෂණය වූ බව කිවයුතුව ඇති තවත් ප්‍රධාන කරුණකි. මේ අනුව පෙනීයන්නේ ෆාහියන් භික්ෂුව තමන් දැන ගත් දේ සහ දැකපු දේ සමබර ලෙස තම දේශාටන වාර්තාවෙන් පෙන්වා දී ඇති බවයි. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ ෆාහියන් හිමියන්, භික්ෂුවක් පමණක් නොව සමබර වාර්තාකරුවෙක් ලෙස ජාත්‍යන්තර සබදතා පෝෂණය කිරීමට කැප වූ බවයි. මේ කාලය වනවිට චීන ජාතිකයෝ විශාල වශයෙන් බුදු දහම වැළද ගත් අතර, විශාල පිරිසක් සසුන් ගත වීමට පටන් ගත්හ. චීනය තුළ බුදු දහම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්, සග සසුන දිනෙන් දින වර්ධනය වීමත් සමඟම, චීනයේ මෙහෙණි සසුන ද ක්‍රි.ව. 434 දී ආරම්භ වීම විශේෂත්වයකි.

ක්‍රිස්තු වර්ෂ 7වැනි සියවසේ දී තවත් චීන භික්ෂුවක් වූ හියුංෂියෑං භික්ෂුව ධර්ම ගවේෂණයේ යෙදී තිබේ. මෙම හියුංෂියෑං භික්ෂුව ලංකාවට වැඩම කිරීමේ අපේක්ෂාවෙන් දකුණු ඉන්දියාවට වැඩම කළ නමුත්, ඒ වනවිට ලංකාවේ පැවැති සාගතය සහ දේශපාලන අස්ථාවරත්වය නිසා එම ගමන නවතා දමා නැවත චීනයට වැඩම කැර ඇති බව සඳහන් වෙයි. ලංකාවෙන් ඉන්දියාවට පැමිණි භික්ෂූන් වහන්සේලා ගෙන් අසා දැනගත් බොහෝ වැදගත් තොරතුරු හියුංෂියෑං හිමියන් සිය දේශාටන වාර්තාවල මැනවින් සටහන් කැර ඇත. විශේෂයෙන් ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ කලක් වාසය කරමින් සිටි හියුංෂියෑං හිමියන්, ලියන ලද දේශාටන වාර්තා නිසා ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු කළ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් තනිංහූම් වැනි පුරාවිද්‍යාඥයන්ට ඉමහත් පිටුවහලක් වී ඇති බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. හියුංෂියෑං හිමියෝ ලංකාව හඳුන්වා දී ඇත්තේ, “රත්නදීප” යන නාමයෙනි. ලංකාවේ මැණික් සහ මුතු බහුලව හමුවන නිසා එම නාමය භාවිතා කරන්නට ඇති බව සිතිය හැක. මේ අතර කාලයේ ත්‍රට් සිං නමින් හැඳින් වූ තවත් හිමි නමක් ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිට ඇත. එම භික්ෂුව ද ලංකාව ගැන වැදගත් තොරතුරු රැසක් සිය දේශාටන වාර්තාවල සටහන් කැර තිබේ.

පුරාවිද්‍යාත්මක සාක්ෂි

පුරාණ චීන-ලංකා සබඳතා හෙළි කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් මේ වනවිට හමු වී ඇත. එම සාක්ෂි ප්‍රධාන කොටස් හතරක් යටතේ වර්ග කළ හැකිව තිබේ.

  1. චීන මැටි භාජන කැබලි
  2. චීන කාසි
  3. වර්ණාලිප්ත උලු
  4. බුදු පිළිම

යාපනය දිස්ත්‍රික්කයේ පැරණි මුහුදු ආශ්‍රිතව “අල්ලෙයි පිච්චි” හි කරන ලද කැණීම්වලින් මැටි බඳුන් කිහිපයක් හමු වී ඇත. මාතොට කරන ලද කැණීම්වලින් ද චීන සහ පර්සියානු මැටි බඳුන් කැබලි රැසක් හමු වී ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල පොළොන්නරුව පිරිවෙනෙහි කරන ලද කැණිම්වලින් ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවස දක්වා කාලයකට අයත් වන චීන මැටි බඳුන් කැබලි හමු වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ බොහෝ ඈත අතීතයේ සිට චීන-ලංකා සම්බන්ධතා මෙන්ම පර්සියානු සබඳතා ද ශක්තිමත්ව පැවැති බවයි. මධ්‍යකාලීන ලංකාවත් චීනයත් අතර සම්බන්ධතා හෙළි කරන ස්ථානයක් ලෙස යාපහුව පුරාවිද්‍යා බිම හඳුන්වා දිය හැකිය. විශේෂයෙන් චීන කාසි පමණක් නොව පර්සියානු කාසි ද අනුරාධපුර සහ පොළොන්නරු ප්‍රදේශවලින් හමු වී ඇත. මෙතෙක් ලංකාවෙන් හමු වී ඇති විශාලතම චීන කාසි සංඛ්‍යාව යාපහුවෙන් හමුවීම විශේෂත්වයකි. එම ප්‍රදේශයෙන් කාසි 1358 පමණ හමු වූ බවට සාක්ෂි තිබේ. 1949 දී යාපහුව නූතන විහාරය අසල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන ලද කැණීම්වලින් හමු වූ කාසි ක්‍රි.ව. 7 වැනි සියවසේ දී චීනයේ රජ කළ “කා ඕ සුං” අධිරාජ්‍යයාට අයත් කාසි ලෙස පුරා විද්‍යාඥයෝ තහවුරු කැර ගෙන ඇත.

චීන-ලංකා පුරාණ වෙළෙඳ සබඳතා පැවැති බව මනාව තහවුරු වවීමට මෙම කාසි හොඳම හේතු සාධකයක් වී ඇත. විශේෂයෙන්, අතීතයේ සිට චීන-ලංකා රාජකීය දූත සම්බන්ධතා පවත්වා ඇති අතර, එමඟින් දෙරටේ සමාජ, ආර්ථික, දේශපාලන සහජීවනයට මහත් රුකුලක් වූ බව කිව යුතුය. ධාතුසේන රජුගේ රාජ්‍ය කාලයේ දී (ක්‍රි.ව. 459 සිට ක්‍රි.ව. 477) මෙවැනි දූත මෙහෙවරක් ලංකාවේ සිට චීනයට යවා ඇති බව ද ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පෙනී යයි. එසේම කෝට්ටේ යුගයේ දී ද ඊට පෙර යාපහුව රාජ්‍ය කාලයේ දී චීනය සහ ලංකාව අතර ශක්තිමත් දේශපාලන සබඳතා පැවති බවට අද සාධක හමුව තිබේ. ගාල්ලෙන් හමු වූ භාෂා තුනකින් ලියන ලද ශිලා ලේඛනය චීන-ලංකා සම්බන්ධතා පිළිබඳ සඳහන් කළ හැකි හොඳම පුරාවිද්‍යාත්මක සාක්ෂියයි. චීන, පර්සියන් සහ දෙමළ යන භාෂා තුනෙන් ම ඒ ශිලා ලේඛනය ලියා ඇත. 1409 වර්ෂයේ දී එම ශිලා ලිපිය ලියන ලද්දේ චීන ජනරාල්වරයෙකු වූ චෙං හෝ විසිනි. මේ අනුව චීන-ලංකා සබඳතා වසර 1600 කට පෙර කාලයේ පටන් තිබුණු බවට බොහෝ සාක්ෂි අද හමු වී තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සබදතා අද පවතින තත්ත්වය දක්වා වර්ධනය වීමට අවශ්‍ය කරන වාස්තවික සහ මනෝමූලික පසුබිම සකස් වන්නේ බුදු දහම කේන්ද්‍ර කැර ගනිමිනි. විශේෂයෙන් මෙහිදී චීන භික්ෂුවක් වූ ෆාහියන් හිමියන් ක්‍රිස්තු වර්ෂ 411 සිට ක්‍රිස්තු වර්ෂ 413 දක්වා ලංකාවේ ජීවත් වෙමින් ආගමික සහජීවනය මෙන්ම, මෙම රටවල් දෙක අතර ආර්ථික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික සම්බන්ධතා පෝෂණය කිරීමට මාර්ගය සකස් කළ බව අවධාරණය කළ යුතුව ඇති කරුණකි.

චන්දන විජේකෝන්

විසින්

මුලාශ්‍රයන්-

01-ෆාහියන්ගේ දේශාටන වාර්තාව -මහාචාර්ය විමල් ජී .බලගල්ලේ

02-අභයගිරිය සංස්කෘතිය – පිටිපන සුමංගල හිමි

03- අසිරිමත් ගාන්ධාරය- චන්දන විජේකෝන්