
චීනයේ සහ අමෙරිකාවේ ජනාධිපතිවරු දුරකථන සංවාදයක නිරත වී තිබේ. චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ (24) රාත්‍රීයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථන සංවාදයකට එක් වී ඇත.
පදුගිය මාසයේ අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ දකුණු කොරියාවේදී පැවැත්වූ සාකච්ඡා යළි සිහිපත් කරමින් චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, එම සාකච්ඡාවෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර අන්දමින් පවත්වාගෙන යන බවයි.
මෙම යහපත් තත්ත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් වඩාත් සාධනීය ප්‍රගතියක් අත්කර ගැනීමට චීනය අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා සඳහන් කැර තිබෙන බව සඳහාන්ය.
චීනයේ තායිවානය සම්බන්ධයෙන් ද ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්වා ඇත. හෙතෙම තායිවානය පිළිබඳ චීනයේ ස්ථාවරය අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පහදා දෙමින් අවධාරණය කෙළේ තායිවානය ජපාන ආක්‍රමණයෙන් නිදහස් කැර ආපසු චීනයට එක්වීම, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත වූ ගෝලීය පටිපාටියේ වැදගත් කොටසක් බවයි. දෙවැනි ලෝක යුද්ධයේදී ෆැසිස්ට්වාදය හා රණවාදයට එරෙහිව සටන් කළ චීනය හා අමෙරිකාව වර්තමානයේ එම යුද ජයග්‍රහණය පොදුවේ රැක ගත යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
ෂී ජින් පිං ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ දැක්වූ අදහස් තමන් සම්පූර්ණයෙන් පිළිගන්නා බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පැවසීය. දෙවැනි ලෝක යුද සමයේ දී චීනය ඉටු කළ වැදගත් මෙහෙවර අගය කරන බවත්, තායිවාන ප්‍රශ්නය චීනයට වැදගත් බව අමෙරිකාවට මැනවින් අවබෝධ වී ඇති බවත්,ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද මෙහිදී නායක දෙපොළ අදහස් හුවමාරු කැර ගත්හ.( දිනමිණ ඇසුරෙන්)
