
චීනය සෑම වසර 5කට වරක් තම ඉදිරි සමාජ සහ ආර්ථික වර්ධනයට අදාළ ඉලක්ක ඇතුළත් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරයි.
රටේ ජනතාවට බලපාන්නා වූ බොහෝ ප්‍රතිපත්ති ක්ෂේත්‍ර හරහා සිදු කෙරෙන රාජ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරූන සඳහා මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම්කරණය කේන්ද්‍රීය වූවකි. තවද, මෙතෙක් පැමිණි ගමන් මග විමසා බලා අනාගතය සඳහා වන තම ඉලක්ක කවරේදැයි තීරණය කිරීමද රටක ප්රගමනයට බෙහෙවින්ම බලපාන්නා වූ කාරණයකි. “පස් අවුරුදු සැලසුම” යනුවෙන් හඳුන්වනු ලබන චීනයේ මෙම අද්විතීය ප්‍රවේශය රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයට මඟ පෙන්වන ප්‍රධානතම සැලැස්ම ලෙස සැළකේ.
ඒ අනුව, පසුගියදා නිකුත් කෙරුණු පස් අවුරුදු සැලැස්ම මගින් වසර 2026 සිට 2030 දක්වා කාලය තුළ තම සංවර්ධන ප්‍රමුඛතා කවරේදැයි එළි දක්වා ඇත.
.මෙවර පස් අවුරුදු සැලසුමේ ප්‍රධාන අරමුණු අතර රටේ උසස් තත්වයේ සංවර්ධනය අඛණ්ඩව ගොඩ නැඟීම, තාක්ෂණික ස්වයංපෝෂිතභාවයේ නව ජයග්‍රහණ සනිටුහන් කිරීම, තෝරාගත් ක්ෂේත්රයන්හි වඩාත් ගැඹුරු ප්‍රතිසංස්කරණ සිදු කිරීම මෙන්ම ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම යනාදිය ඇතුළත්ව තිබේ. විශේෂයෙන්ම, අභියෝගාත්මක කාලසීමාවක චීනයේ ආර්ථික ශක්තිය, තාක්ෂණික ශක්තිය, ආරක්ෂක හැකියාවන් සහ ජාත්‍යන්තර බලපෑම වැඩිදියුණු කිරීම යන දිගුකාලීන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධ ඉදිරි පියවර රැසක් මෙවර පස් අවුරුදු සැලසුමට ඇතුළත් ය.
ලොව විශාලතම භාණ්ඩ නිෂ්පාදකයා ලෙස චීනය ලොව සමස්ත නිෂ්පාදන ධාරිතාවයෙන් 30% කට පමණ දායකත්වය දක්වයි. එමෙන්ම භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්රය චීනයේ සමස්ත ආර්ථිකයෙන් හතරෙන් එකකට සමානය. නවතම පස් අවුරුදු සැලැස්ම මගින් දියුණු කර්මාන්ත තම කොඳු නාරටිය ලෙස පවත්වාගෙන යමින් “ලොව නිෂ්පාදන බලාගාරය” ලෙස ලෙස දිගු කලක් මුළුල්ලේ දිනා ඇති කීර්තිය තවදුරටත් තහවුරු කරගැනීම චීනයේ අපේක්ෂාවයි.
චීන නිෂ්පාදන වසර ගණනාවක් මුළුල්ලේම මිනිස් ශ්‍රමය වැය කරමින් සිදු කරන අඩු වියදමින් යුත් නිෂ්පාදනවල සිට, විද්‍යුත් මෝටර් රථ, බැටරි ඇතුළු ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන දක්වා ප්‍රගතියක් පෙන්නුම් කරයි. ඉදිරි වසරවලදී, චීනය තවදුරටත් දියුණු නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

විද්‍යාව සහ තාක්ෂණය අතින් ඉහළ ස්වායත්තතාවයක් සහ ශක්තියක් අත්කර ගැනීමටද චීනය සැලසුම් කර ඇත. ඒ යටතේ නවමු සොයාගැනීම් තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ප්‍රධාන ක්ෂේත්රයන්ට අදාළ තාක්ෂණික හරයන් හි නව ජයග්‍රහණ භාවිතය සඳහා ව්‍යවසායකයින් දිරිමක් කිරීමටද අපේක්ෂිතය.
තවද, අධ්‍යාපනය හැකියාවන් සහ විද්‍යා-තාක්ෂන දියුණුව අතර තිබෙන නෛසර්ගික ත්‍රෛපාර්ශවික සම්බන්ධතාවයේ විපුල ඵල නෙලාගැනීම සඳහා ‘නව ගුණාත්මක නිෂ්පාදන බලකායක්” ප්‍රචලිත කිරීමේ සම්බන්ධීකාරක මූලෝපායක් ද ක්‍රියාත්මක කෙරේ.
රටේ ආර්ථික වෘද්ධිය පණ ගන්වන යාන්ත්‍රණය ලෙස ගෘහස්ථ පරිභෝජනය ඉහළ නංවාලමින් දේශීය වසයෙන් ඉල්ලුම වැඩි කිරීමේ පැහැදිලි ඉලක්ක පස් අවුරුදු සැලසුමට අන්තර්ගතය. පරිභෝජනය සහ ආයෝජන මෙන්ම ඉල්ලුම හා සැපයුම අතර නිරෝගී ස්වයං තිරසාරබවකින් යුත් චක්‍රයක් පවත්වාගෙන යෑම එහි අරමුණයි.
ආනයනික බදු, ආරක්ෂණවාදය, සම්බාධක ඇතුළු ගෝලීයකරණයට එරෙහි ප්රවණතා හිස ඔසවමින් පවතින අවදියක චීනය බාහිර ලෝකයට තම දොරටු විවර කිරීමට සූදානම්වීම නවතම පස් අවුරුදු සැලසුමේ කැපී පෙනෙන කාරණයකි. ඒ අනුව, ඉහළ ප්‍රමිතියෙන් යුත් වෙළෙඳ රීති, පෘථූල වෙළෙඳ පොළ ප්‍රවේශය සහ බෙහෝ අංශ සහ කලාප ඒකපාර්ශවීයව විවෘත කිරීම ඇතුළු ආර්ථික විවරකරණයට අදාළ ප්‍රතිපත්ති ගණනාවක් නව සැලසුම මගින් හඳුන්වා දී ඇත.
විදේශ අරමුදල් සහිත සමාගම්වලට අන්තර්ජාතික මට්ටමේ ව්‍යාපාරික පරිසරයක් තුළ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සැලසීමටද ක්‍රියා කෙරේ.
2026 සිට 2030 දක්වා කාලය තුළ චීනය “නව බලශක්ති පද්ධතියක් ගොඩනැගීම”, “හරිත නිෂ්පාදන හා ජීවන රටාවන් ගොඩනැගීම” සහ “ආර්ථික හා සමාජීය සංවර්ධනයේ හරිත පරිවර්තනය” වේගවත් කරනු ඇත.
මීට ඉහත පස් අවුරුදු සැලසුම් මගින් ඇති කරගත් පරිසර දූෂණය පාලනය කිරීම සහ කාබන් විමෝචන කප්පාදු කිරීමේ න්යායපත්රය ඉදිරියට ගෙන යමින් ජීවත්වීමට සහ වැඩ කිරීමට අදාළ පරිසර හිතකාමී ජීවන රටාවක් ප්‍රචලිත කිරීමට ද චීනය අපේක්ෂා කරයි.
චීනයේ මේ නව්‍යකරණ සැලසුමට යටින් දිව යන ප්‍රධානතම අරමුණ නම් ජනතාවගේ ජීවන තත්වය වඩාත් සුඛිත මුදිත කිරීමයි. ආර්ථික වෘද්ධියට සමගාමීව ජනතාවගේ ආදායම් මට්ටම ද ඉහළ නංවමින් ධනය වඩාත් සධාරණව බෙදා හැරීමේ උතුම් අරමුණක් ඒ තුළ ගැබ්ව පවතී. අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සනීපාරක්ශාව, සමාජ සුබ සාධනය ඇතුළු පොදු සේවාවන්ට අදාළ පුළුල් ප්‍රවේශයක් එමගින් ජනතාවට ලබාදීමට නියමිතය.
විජය දිසානායක විසින්
දිනමිණ ඇසුරෙන්
