
ගෙවී ගිය වසරේ ලොව පුරා සිදු වු ස්වභාවික ආපදාවලින් ඇති වූ සමස්ත පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 120 ඉක්මවා ඇතැයි චැරිටි ක්‍රිස්ටියන් අරමුදල සඳහාන් කළ බව එංගලන්තයේ ගාඩියන් පුවත් සේවය කියයි.
ආසියාතික කලාපයේ පුද්ගලයන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවූ සුළිකුණාටු සහ මාරාන්තික ගංවතුර තත්ත්වය සහ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිරී ගිය ළැව්ගින්නට තවත් ජීවිත 400ක් බිලිවීම ඇතුළුව ලොව විශාලතම ස්වභාවික ආපදා 10ක් ඇසුරින් එම වාර්තාව සකස් කැර ඇතැයි ගාඩියන් පුවත් සේවය සඳහන් කළේය.
ස්වභාවික ආපදාවලින් විනාශ වූ දේපොළ හානිය සඳහා වන රක්ෂණ වන්දිය පදනම් කරමින් චැරිටි ක්‍රිස්ටියන් අරමුදල එම තක්සේරුව කැර ඇති අතර, එම විපත්වලින් අහිමි වූ මිනිස් ජිවිත, බිඳ වැටුණු ජිවනෝපායයන් සඳහා දැරීමට සිදුවන පිරිවැය එම වාර්තාවට ඇතුළත් නොවන බැවින් සම්පූර්ණ පාඩුව තවත් ඉහළ යනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලේජ් හි වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන ඕනා හේග් සඳහන් කැර ඇත්තේ මිනිසා විසින්ම නිර්මාණය කරගත් දේශගුණික අර්බුදය හේතුවෙන් සිදුවන විනාශය තවදුරටත් ඉහළ යනු ඇති බවය.
ගතවූ වසරේදී ලොව සියලුම කලාපවලට ස්වභාවික ආපදාවලින් බලපෑම් එල්ල වී ඇති අතර, ඉරානයට බලපෑ දරුණු නියඟය එරට මිලියන 10ක ජනතාව අවතැන් කළ බවත්, පසුගිය අප්‍රේල් මාසයේදී කොංගෝ ජනරජයට සහ මැයි මාසයේදී නයිජීරියාවට බලපෑ මාරාන්තික ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිත 700ක් අහිමි වූ බවත් එම වාර්තාවේ සඳහන් වී තිබේ. මීට අමතරව ඉන්දියාවේ සහ පාකිස්තානයේ ගංවතුර බලපෑම් හේතුවෙන් පුද්ගලයන් 1,860 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, පාකිස්තානයේ පමණක් මිලියන 7ක ජනතාව අවතැන් වූ බව ද සඳහන් වේ.( දිනමිණ ඇසුරෙන්)
