
රුපියල් හය කෝටි අනූ දෙලක්ෂ හතළිස් දහසක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් ඊයේ (14 ) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටතට ගෙන යද්දී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
මොහු රඹුක්කන, හේවාදිවෙල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දුරකතන අලුත්වැඩියා කරන්නෙකි.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත මොහු පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ව්‍යාජ පතුලක සඟවාගෙන මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 308ක ප්‍රමාණය රැගෙන විත් තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කැර රඳවා ගැනීමේ නියෝගය මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
