
ගාසා සාම සැලසුමට අනුව ස්ථාපිත කිරීමට යෝජිත ජාත්‍යන්තර හමුදා ඒකාබද්ධ බළකායට පාකිස්තානයේ දායකත්වය ලබා ගැනීමට අමෙරිකානු රජය බලාපොරොත්තු වන බව රොයිටර් පුවත් සේවය සඳහාන් කරයි.
මෑතකදී පාකිස්තාන පාර්ලිමේන්තුවෙන් වැඩි බලතල හිමි වූ පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර්ට එය අභියෝගයක් වනු ඇති බව ද සඳහාන් වේ.
මේ පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරිම සඳහා පාකිස්තාන හමුදාපතිවරයා ඉදිරි සති කිහිපය ඇතුළත වොෂින්ටනයේ සංචාරය කිරීමට නියමිත බවත්, ඔහු මාස 6ක් ඇතුළත ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන 3 වැනි අවස්ථාව මෙය බවත් රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කරයි.
යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පරිපාලන හුවමාරුව සිදුවන අයුරු අධික්ෂණය කිරීමට මුස්ලිම් රටවලින් ඒකාබද්ධ ස්ථායිකරණ හමුදා බළකායක් ස්ථාපිත කිරිම ට්‍රම්ප්ගේ ගාසා සාම සැලසුමේ යෝජනාවක් වන අතර, හමාස් ඉස්ලාමීය සන්නද්ධ සංවිධානය නිරායුධ කිරීමේ මෙහෙයුමට එක්වීමේ අවදානම බොහෝ මුස්ලිම් රටවල දැඩි අවධානයට ලක් වී ඇතැයි ද රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
