
ගාසා තීරය සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරුණු 20 කින් යුත් සාම සැලැස්ම සම්බන්ධ කෙටුම්පත් කරන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සම්මත වුවද, හමාස් සංවිධානය එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කැර ඇත.
පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් සහ ඉල්ලීම් සපුරාලීමට ට්‍රමිප්ගේ මෙම යෝජනාව අපොහොසත් වන බව හමාස් සංවිධානය ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය කියයි.
එම යෝජනාවලිය මගින් පලස්තීනුවන්ගේ අයිතිවාසිකම්, දේශපාලනික අවශ්‍යතා සහ ඉල්ලීම් සපුරාලීමට අසමත් වී ඇතැයි ද, ප්‍රතිවාදීන් නිරායුධ කිරීම ඇතුළුව ගාසා තීරයේදී ජාත්‍යන්තර හමුදාවට පැවරෙන කාර්යභාරය තුළ මධ්‍යස්ථභාවයක් සිදු නොවනු ඇතැයි ද හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කැර ඇත.
කේසේ නමුත් ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් (ISF) පිහිටුවීම සදහා වූ සැලැස්ම මෙයට ඇතුළත් වන අතර, අමෙරිකාව පවසන පරිදි නම් නොකළ රටවල් කිහිපයක් එයට දායක වීමට ඉදිරිපත් වී තිබේ.
ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම අධීක්ෂණය කරන සංක්‍රාන්ති අධිකාරියක් ලෙස සැලකෙන ට්‍රම්ප්ගේ සභාපතිත්වයෙන් යුත් සාම මණ්ඩලයට සාමාජික රටවලට සහභාගී විය හැකි බව යෝජනාවේ සඳහන් වේ.බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ සෝමාලියාව ඇතුළු රටවල් 13 ක් යෝජනාවට සහාය දුන් අතර යෝජනාවට විරුද්ධව කිසිවෙකු ඡන්දය ප්‍රකාශ කැර නැත. රුසියාව සහ චීනය ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.එය සම්මත කිරීම “සටන් විරාමය තහවුරු කිරීමේ වැදගත් පියවරක්” බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශ කැර ඇත.
මෙම තත්ත්වය පිළිබදව තවදුරටත් අදහස් දක්වන හමාස් සංවිධානය පවසන්නේ, අමෙරිකානු ජනාධිපතිවරයා ලෝකයට පෙනෙන්න සාම යෝජනා ඉදිරි පත් කළත් ඊශ්‍රායලය තවමත් පලස්තීනුවන් වෙඩි තබා මරා දමන බවයි. මෙම ඝාතන පිටුපස අමෙරිකාව සිටින බව හමාස් සංවිධානය ප්‍රකාශ කැර ඇතැයි අල් ජසීරා පුවත් සේවය තවදුරටත් කියයි.
