Impartial news reporting for a stronger democratic society
ගල්ෆ් කලාපයේ සටන් විරාමය ඉක්මන් විය යුතුයි – චීන විදේශ ඇමැති කියයි

ගල්ෆ් රටවලින් නිරන්තරයෙන් ලැබෙන ඉල්ලීම් චීනය අගය කරන බවත්, හැකි ඉක්මනින් එම කලාපයේ සටන් විරාමයක් ඇතිකැර ගැනීම සඳහා චීනයේ ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව චීන විදේශ ඇමැති වං යී පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයකු වන වං යී කුවේට් විදේශ ඇමැති Jarrah Jaber Al-Ahmad Al-Sabah සමඟ දුරකථන සංවාදයකට එක් වෙමින් ඊයේ (09) මේ බව පවසා තිබේ.

කුවේට් ඇමැතිවරයා කලාපීය තත්ත්වයේ, නවතම වර්ධනයන් පිළිබඳව චීන පාර්ශ්වයට දැනුම් දුන්නේය. සිය රට ගැටුමට පක්ෂ නොවූවත්, එය තවමත් යුද්ධයෙන් බලපෑමට ලක්ව ඇති බවත්, කුවේට් ඇතුළු ගල්ෆ් රටවල් සංවාදය හා ආරවුල් විසඳීමට කැපවී සිටින නමුත්, ආත්ම ආරක්ෂාව සඳහා තම රටට ඇති අයිතිය අත්නොහරින බවත් ඔහු පැවසීය.

කුවේට් රාජ්‍යය චීනයේ ස්ථාවරය සහ උත්සාහය බෙහෙවින් අගය කරන අතර කලාපයේ ස්ථාවරත්වය යථා තත්ත්තවයට පත් කිරීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමග සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටී. කුවේට් රාජ්‍යය චීන පිරිස් සහ ආයතනවල ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන බවත් එය අඛණඩව සිදු කරන බවත් ඔහු සඳහන් කෙළේය.

වං යී මෙහිදී සඳහන් කෙළේ චීනය සැමවිටම දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මඟින් ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන බවයි. පවතින යුද්ධය සිදු නොවිය යුතුව තිබූ බවත් එය කිසිවකුගේ අවශ්‍යතාවලට සේවය නොකරන බවත් ඔහු පැවසීය.

ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා සිදුවෙමින් පවතින අවස්ථාවක එක්සත් ජාතීන්ගේ අවසරයකින් තොරව  අමෙරිකාව සහ ඊශ්‍රායලය අඛණ්ඩව ඉරානයට එරෙහිව මිලිටරි ප්‍රහාර එල්ල කළ අතර එය පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව වං යී පැවසීය.

එසේම ගල්ෆ් රටවල ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවයට සම්පූර්ණයෙන් ගරු කළ යුතු අතර අහිංසක සිවිල් වැසියන් සහ හමුදා නොවන ඉලක්ක වෙත එල්ල වන ඕනෑම ප්‍රහාරයක් හෙළා දැකිය යුතු බවද හෙතෙම සඳහන් කෙළේය.

සංවාද සහ සාකච්ඡා සඳහා ගල්ෆ් රටවලින් ලැබෙන නිරන්තර ඉල්ලීම්වලට චීනය ගරු කරන අතර ඒ සඳහා අඛණ්ඩව උත්සාහ දරනු ඇත.

මැදපෙරදිග ගැටලුව සම්බන්ධයෙන් චීනයේ විශේෂ නියෝජිතයා දැනටමත් මැදපෙරදිග කලාපයට පිටත්ව ගොස් ඇති අතර කුවේට් සහ අනෙකුත් රටවල් සමග සන්නිවේදනය ශක්තිමත් කිරීමට මැදිහත් වනු ඇති බවද වං යී සඳහන් කෙළේය.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp