
ගල්ෆ් කලාපයේ යුද තත්ත්වය ලබන ජුනි මාසය දක්වා පැවතුනහොත් මිලියන 45කට අධික ජනතාවකට උග්‍ර ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්යක්ෂ කාල් ස්කෝ ප්‍රකාශ කැර ඇත්තේ දැනටමත් විවිධ කලාපවල යුද ගැටුම් හේතුවෙන් මිලියන 319ක ජනතාවක් දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින බවයි.
ගාසා තීරයේ දේශසීමා වසා දැමීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් දරුණු ආහාර අර්බුදයකට ගොදුරු වී සිටින බවත්, සුඩානයේ සිවිල් යුද ගැටුම් හේතුවෙන් මිලියන 21කට වැඩි ජනතාව කුසගින්නෙන් පීඩා විඳින බවත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
මේ තත්ත්වය ගෝලීය කුසගිනි මට්ටම ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් ඉහළ යෑමට හේතුවනු ඇතැයි ද, එය අතිශය භයානක සහ ශෝචනීය සිදුවීමක් බවට පත්වනු ඇතැයි ද ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ප්‍රකාශ කැර තිබේ.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, ඉරාන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන ගාසා තීරයට ප්රවේශවන දේශසීමා වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගත් අතර, එය දැනටමත් ව්‍යවසනකාරී මානුෂීය අර්බුදයක් දක්වා ඇදී ගොස් ඇතැයි අනාවරණය වෙයි. ගාසා තීරයට දිනකට ආහාර ට්‍රක් රථ 600ක් අවශ්‍ය වුවත්, දැඩි සීමා කිරීම් මැද ට්‍රක් රථ 200කට පමණ අවසර දීමෙන් පලස්තීන ජනතාවගේ ආහාර හිඟය උත්සන්න වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මධ්‍යධරණී කලාපයේ අධ්යක්ෂවරයා පසුගියදා අනතුරු අඟවා තිබේ. සුඩානයේ සිවිල් යුද්ධය හේතුවෙන් සහනාධාර සේවකයන්ට එරට පළාත් රැසකට ළඟාවීමට නොහැකි වී ඇතැයි ද සඳහාන් වේ. ( දිනමිණ ඇසුරෙන්)

