Impartial news reporting for a stronger democratic society
කොළේ වසා ගහන මාලිමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උගුල

ශ්‍රී ලංකාවේ අද දැඩි ලෙස අවධානයට ලක්ව ඇති මාතෘකාව වන්නේ මාලිමා ආණ්ඩුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි.

අද ජනතාව අතර වඩාත් අවධානයට යොමු වී ඇත්තේ විශයමාලා අන්තර්ගතයට වුවද, මෙම යෝජිත ප්‍රතිසංස්කරණ හරහා සිදුවන භයානකම ව්‍යසනය එය නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට වන හානිය, හය වසර පෙළ පොතට ලඝු කොට, එය හරහා ජනතා අවධාණය වෙනතකට යොමු කොට සැබෑ පරමාර්ථය යට ගැසීමට  ආණ්ඩුව සැරසෙනවා දැයි මට සිතේ.
ඇත්ත වශයෙන්ම අපගේ අවධාණය යොමුවිය යුත්තේ සම්පූරණ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවළියටය. මක්නිසාද යත් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවහොත්, මේතාක් දුරට රැකගෙන ආ ලංකාවේ සාධාරණ, වංචා දූෂණවලින් තොර දරුවන්ගේ හැකියාව මනින තරග විභාගයක් මත පමණක්ම පදනම් වන නොමිලේ ලබා දෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ස්වාධීවත්වය සහ සාධාරණත්වය නැත්තටම නැති වී යන බැවිනි.
යෝජිත ප්‍රතිසංස්කරණ දෙමාපියන්ට සහ දරුවන්ට විකුණන්නේ “ කට පාඩම් විභාග මධ්‍යස්ථ අධ්‍යාපනයෙන් ඉවත් වෙමින්, දරුවාගේ දක්ෂතා හා නිපුනතා මධ්‍යස්ථ අධ්‍යාපනයක් ” හඳුන්වා දීම හරහා දරුවාට ආතතියක් නැති, තරගයක් නැති ළමා කාලයකට මග පාදන පොරොන්දුව මතය. මතු පිටින් බලන කළ එය සංකල්පමය වශයෙන් ඉතා වටිනා අදහසක් ලෙස පෙනේ. එහෙත්  ආණ්ඩුව යෝජනා කැර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය, ආර්ථික ව්‍යුහය හා සමාජ ව්‍යුහය තේරුම් ගත හැකි උගත් බුද්ධිමත් මිනිසුන් තුළ බිය, සැක සහ විරුද්ධත්වය පවතින්නේ ද මෙම කොටසටයි.

මෙය සත්‍ය වශයෙන්ම ලංකාවට මේ මොහොතේ අවශ්‍ය ප්‍රගතියක්ද?.නැත්නම් විශ්වාස කළ නොහැකි, පාරදුශ්‍යභාවය හා සාධාරණත්වය සපථ කළ නොහැකි දූෂිත පද්ධතියක් තුළ දරුවන්ගේ අනාගතය උකසට තබා සිදු කරන භයානක පරීක්ෂණයක්ද? .එසේත් නැතිනම් පවතින  ආණ්ඩුව ශ්‍රී ලංකාව දේශපාලනිකව ගෙන යෑමට වෙර දරන “පැසිස්ට් රාජ්‍ය” සංකල්පයට තවත් එක් පියවරක්ද? .අප ගැඹුරින් සළකා බැලිය යුත්තේ එයයි.
අද සමාජයේ මේ පිළිබදව පක්ෂව හා විපක්ෂව කතා කරන බොහෝ දෙනා, අරගල උද්ඝෝෂණ කරන විවිධ පාර්ශවයන් යෝජිත ප්‍රතිසංස්කරණවල මූලික පදනමවත් නොදනී. මෙවැනි ප්‍රධාන සහ රටේ අනාගතයට බලපාන වෙනස් කිරීම්වලදී වෙනත් රටවල් හෝ අපේ රටේම පහුගිය  ආණ්ඩු කළ පරිදි, මාලිමා  ආණ්ඩුව මෙම ප්‍රතිසංස්කරණවලට අදාළ විස්තර සමාජ ගත කරන්නේද නැත. එබැවින් දැනට අපට සැළවී ඇති අන්දමට මෙම යෝජිත ප්‍රතිසංස්කරණය පදනම් කැර ඇත්තේ ප්‍රධාන කුළුණු පහක් (5 pillars) මතය.

  1. විෂය මාලා සංස්කරණය මතකය මත පදනම් වූ විෂය මාලාව වෙනුවට STEM අධ්‍යාපනයට (Science, Technology, Engineering and Mathematics), ICT, ජීවන කුසලතා, විචාරාත්මක චින්තනය ඇතුළත් නව විෂය මාලාවක්. (ICT යනු සාම්ප්‍රදායික පරිගණක පාදක තාක්‍ෂණයන්ට (ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක වැනි) වඩා වැඩි යමක් වන අතර, එය තොරතුරු සහ සන්නිවේදනය භාවිතා කරන සහ බෙදාහදා ගන්නා ආකාරය පිළිබඳව ද වේ. බොහෝ සන්දර්භයන්හිදී, තනි කේබල් හෝ සම්බන්ධක පද්ධතියක් හරහා පරිගණක ජාල සමඟ ශ්‍රව්‍ය දෘශ්‍ය සහ දුරකථන ජාල අභිසාරී වීම හැඳින්වීමට ICT භාවිතා වේ).

  2. පාසලට නිබන්ධන හරහා ඇගයීම් හා තක්සේරු ක්‍රම හදුන්වා දීම මේ තුළින් දරුවන්ගේ කුසලතා සහ නිපුනතා පරීක්ෂණ විභාගයක් මත තීරණය කරන ක්‍රමයෙන් ඉවත් වීම.

  3. මානව සම්පත් සංවර්ධනය ගුරුවරුන් සහ අධ්‍යාපන පරිපාලනය නව ක්‍රමයට පුහුණු කිරීම.

  4. යටිතල පහසුකම් හා පරිපාලන සංස්කරණ පාසල්, ඩිජිටල් පහසුකම්, පරිපාලන ව්‍යුහ නවීකරණය.

  5. මහජන අවබෝධතාව දෙමාපියන්, ගුරුවරුන් සහ සමාජය සමඟ සංවාදය තුළින් ජනතාව දැනුවත් කීරීම.

න්‍යායක් ලෙස ගත් කළ, මෙය නවීන, ගෝලීය ප්‍රවණතා සමඟ ගැලපෙන යෝජනාවක් ලෙස බැලූ බැල්මට පෙනේ. නමුත් ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහයට හා ආර්ථික යථාර්ථයට මෙය ප්‍රායෝගිකද යන්නයි.


ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දැනට ඇති විශාලම අරබුදය පාසල් අධ්‍යාපනය නොවේ. ලංකාවේ දරුවන්ගේ අනාගතයට බලපාන විශාලතම පසුබෑම ඇත්තේ උසස් පෙළ අවසාන කරන දරුවන්ටය. ඒ ලංකාවේ පාසල් හැර යන්නන්ට නිදහස් අධ්‍යාපනයට ඉඩ අහුරා ඇති නිසාය.
ශ්‍රී ලංකාවේ වසරකට දරුවන් 450,000ක් පමණ පළවැනි ශ්‍රේණියට ඇතුළත් කෙරේ. ඉන් දරුවන් 100,000පමණ සාමාන්‍ය පෙළ අවසන් කොට පාසල් හැර යන අතර, දරුවන් 350,000ක් පමණ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියි.
මෙම උසස් පෙළ හදාරා විභාගයට මුහුණ දෙන දරු දැරියන්ගෙන් විශයයන් තුනට සාමාර්ථ තුනක් ලබා ගන්නා සෑම දරුවෙක්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුය.

නමුත් ප්‍රශ්නය වන්නේ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමට වරම් ලබන්නේ මෙම උසස්  පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් 40,000 කට පමණක් වීමය. එනම් 10% පමණි. ඉතිරි වන  90% දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය අහිමි වන්නේ, එම දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලබන නිසා නොවේ. ඒ ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවල නොමිලේ ඉගැන්වීමට හැක්කේ සීමිත ප්‍රමාණයට පමණක් වීම නිසාය. ධනවත් දෙමාපියන්ගේ දරුවන් මුදල් ගෙවා දේශීය සහ විදේශීය අධ්‍යාපනය ලබා ගන්නා අතර, නැති බැරි දෙමාපියන්ගේ දරුවන්ට විකල්පයක් නැත. ඔවුන්ට ඇති එකම මග උසස් පෙළ විභාගය පමණි.
වාර්ෂිකව මෙම 10% තෝරා ගැනීම සඳහා පසුගිය වසර 76 පුරා ස්ථාපිත කරන ලද ක්‍රියාවලිය වන්නේ අපක්ෂපාතී ජාතික විභාග ක්‍රමය සහ දිස්ත්‍රීක් පදනම මත නගර සහ ගම් අතර පවතින සම්පත් පරතරය සැළකිල්ලට ගෙන කරනු ලබන ක්‍රියාපටිපාටියයි. මේ හරහා, රජයට නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දිය හැකි සිසු සිසුවියන් ප්‍රමාණය සාධාරණ ක්‍රමවේදයක් තළින් තොරාගනු ලබයි. මෙම විභාග ක්‍රමය නිසා ධනය හෝ දේශපාලන බලය යොදවා තම දරුවා හෝ තම දේශපාලන පක්ෂයේ සමාජිකයන්ගේ දරුවන් හෝ සාමාජිකයන් විශ්වවිද්‍යාල තුළට රිංග වීමට ඉඩ නැත.
මෙම මාලිමාවේ යෝජිත නව ක්‍රමය යටතේ සිදුවන විශාලම ඛේදවාචකය වන්නේ, මේ අපක්ෂපාතී විශ්වවිද්‍යාල ප්‍රවේශ යාන්ත්‍රණය බිද වැටීමයි.
මාලිමා ආණ්ඩුවේ ක්‍රමය යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශය එකම A/L – Z score පදනමෙන් ඉවත් වෙමින්,

විභාග,
දක්ෂතා පරීක්ෂණ,
පාසල් මට්ටමේ ඇගයීම්,
තාක්ෂණික හා වෘත්තීය මාර්ගඑකට එකතු කළ බහුමාර්ග (multiple pathways) ක්‍රමයකට වෙනස් කරයි.

ඉතා නවීන අදහසක් ලෙස පෙන්වීමට උත්සහ ගත්තද, මෙය විශාලතම ධනය හා දේශපාලන බලය යොදා ගනිමින් දරුවන්ගේ අනාගතය මංකොල්ල කන අක්‍රමිකතා ඇති කරන ක්‍රමවේදයක් සඳහා පාර කැපීමකි.
අධ්‍යාපන ප්‍රකිසංස්කරණ ගෙන ඒමට පෙර ලෝක අත්දැකීම් විශ්ලේෂණය කළ යුතුය. විශේෂයෙන්ම එම රටවල එය සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට හේතු සළකා බැලිය යුතුය.

යෝජිත අධ්‍යාපන ව්‍යුහය සාර්ථකව සිදුකළ රටක් ලෙස ෆින්ලන්තය ඉදිරියෙන්ම සිටියි. අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ලංකාවට ඔබ්බවන්නට හදන්නේ මෙම ෆින්ලන්ත ක්‍රමයයි.
ෆින්ලන්තය යනු යුරෝපයේ ඉතා ධනවත් රටකි. එහි ජනගහනය මිලියන 5.6 ක් (ලංකාවේ ජනගහණය මිලියන 23 කි) වන අතර 2022 වන විට, ෆින්ලන්තය IMF සංවිධානයට අනුව ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් ගෝලීය වශයෙන් 16ක් වන ස්ථානයට පත්විය. ෆින්ලන්තය සැමට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීමට හැකියාවක් ඇති අතර, කැමති සෑම පුරවැසියකුටම නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව රජය මඟින් නොමිලේ ලබා දෙයි. එය සෞඛ්‍ය සේවා සහ හොඳින් සංවර්ධනය වූ සුභසාධන පද්ධතියක් ඇති ධනවත් රටකි. එහි රැකියා අතර සමාජ පරතරයක් හෝ රැකියා අතර වැටුප් පරතරයක් නැත.
එබැවින් ෆින්ලන්තයේ අධ්‍යාපන පද්ධතිය තුළ දරුවන්ට විභාග නැත. තරග විභාග තුළින් පවතින සීමිත අවස්ථා සඳහා දරුවන් තෝරා ගැනීමේ අවශ්‍යතාවයක් ෆින්ලන්තයට නැත. එබැවින් ඔවුන් අඛණ්ඩ තක්සේරු ක්‍රමය සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීම ස්ථාපිත කොට ඇති අතර ද්විතීයික අධ්‍යාපනය අවසන් වන තුරුම දරුවන්ට ජාතික විභාගයක් නොමැත.

ෆින්ලන්තයේ පාසල් ඇත්තේ 3,042 පමණි. ෆින්ලන්තය ආර්ථිකය අතින් ඉතා දියුණු ධනවත් රටකි. එහි ඇති-නැති පරතරය නැතුවා වාගේම ග්‍රාමීය හා නාගරික පාසල් අතර පහසුකම්වල හෝ සම්පත් අතර පරතරයක් නැත. සෑම දරුවකුටම අවස්ථා සහ සම්පත් සමානව ලැබේ. එම නිසා දරුවන් කුමන නගරයක හෝ ගමක පාසලක අධ්‍යාපනය ලැබුවත්, ඔවුනට ඇති පහසුකම් එක සමානය.

ෆින්ලන්තයේ සියලුම පාසල් ගුරුවරුන්ට අඩුම වශයෙන් ශ්‍රාස්ත්‍රපති හෝ විද්‍යාපති උපාධියක් ඇත. ෆින්ලන්තය පුරාම ගුරුවරුන්ගේ දැනුම් මට්ටම මහ ඉගැන්වීමේ විශමතාවයක් නැත. ගුරුවරුන්හට අඛණ්ඩ අධ්‍යාපන පාඨමාලා ඔස්සේ යාවත්කාළීන දැනුම සහ පුහුණුව ලබාදීමට ශක්තිමත් යාන්ත්‍රණයක් ඇත.
තවද ගුරු වෘත්තිය යනු, වෘත්තියේ වැඩ ධාරිතවට සරිලන වැටුපක් සහිත තෘප්තිමත් වෘත්තියකි. එම නිසා ත්‍යාග පඩුරු පාක්කුඩම් හෝ පගා ගැනීමේ අවශ්‍යතාවයක් ගුරුවරුන්ට නැත.  දේශපාලන ඇඟිලි ගැසීම් සහ බලපෑම් නොමැති වීම නිසා අධ්‍යාපන ක්ෂේස්ත්‍රය ස්වාධීනය. එබැවින් පාසල් මට්ටමේ සම්මුඛ පරීක්ෂණ සහ ඇගයීම් කෙරෙහි විශ්වාසනීයභාවයක් ඇත. විනිවිද භාවයක් ඇත.
තවද ෆින්ලන්තයේ මෙම වෙනස්කම් සිදුකෙළේ වසර 20 කටත් වඩා විහිදෙන පරිදි ක්‍රමානුකූලවය. වසරක් තුළ තිබුණ පද්ධතිය සම්පූරණයෙන් කනපිට හරවා නොවේ.

සමස්ථයක් ලෙස ගත් කළ, ෆින්ලන්තයට මෙම අධ්‍යාපනය ගැළපීමට සහ එම ක්‍රමය සාරථක වීමට  මූලික හේතු වන්නේ රටේ ආර්ථික හා ඒ තුළින් ඇතිවී ඇති සමාජ දියුණුවයි.

සිංගප්පූරුව ද මීට සමාන අධ්‍යාපන ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි. එහි ශක්තිමත් විභාග ක්‍රමයක්  තවමත් පැවතිය ද බහු මාර්ග (අධ්‍යයන / තාක්ෂණික / ව්‍යවහාරික) පද්ධතියක් ඔස්සේ දරුවන් තෝරා ගැනීම කරනු ලබයි. ශක්තිමත් රාජ්‍ය ධාරිතාවක් ඇති සිංගප්පූරුවේ ගුරුවරුන් හොඳින් පුහුණු කිරීමට ක්‍රමවේදයක් ඇත. සෑම පාසලකටම යටිතල පහසුකම් සමානය. මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරුව භාවිතා කරන්නේ තද නීති රීති සහ දඩුවම්ය. පැහැදිළි විනිවිදභාවයෙන් යුතු නීති පද්ධතියක් හරහා දූෂිතයන් සහ අපයෝජකයන් හට උපරිම දඩුවම් ලබා දෙයි. එබැවින් පාසල් පද්ධතිය තුළ වංචා, දූෂණ හෝ අකර්මන්‍යතාවයන් නැත.

 ඉන්දියාව, කෙන්යාව , දකුණු අප්‍රිකාව සහ ෆින්ලන්තයට සමාන අධ්‍යාපන ක්‍රියාවළියක් ක්‍රියාත්මක කිරීමට උත්සහා කොට අසාර්ථක වූ රටවල්ය. ඊට ප්‍රධාන හේතූන් වී ඇත්තේ සම්පත් සහ පහසුකම් අසමානතාවය, සුදුසුකම් සහිත පුහුණු ගුරුවරුන්ගේ හිගය, පාසල් තුළ වංචනික සහ ව්‍යාජ ඇගයීම් සහ ලකුණු දීම් සිදුවීම, සෘජු දේශපාලන මැදිහත්වීම්, රජයන් වලට ප්‍රමාණවත් අධීක්ෂණයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නෙමැති වීම සහ දරුවන්ගේ, දෙමාපියන්ගේ සහ සමාජයේ මෙම ක්‍රියාවලිය සඳහා විශ්වාසයක් නොමැති වීම තුළින් පාසල් තුළි විශාල ගැටලු සහ විරෝධතා ඇති වීම යනාදියයි.
 මේ උදාහරණ සහ ලෝකයේ අනෙකුත් රටවල් දෙස බලන කල, විභාග අවම අධ්‍යාපන සංස්කෘතියක් ඇති කිරීමට එම රටවල් ආර්ථිකව ඉතාම ශක්ති සම්පන්නව තිබීම ඉතා වැදගත්ය. දියුණු රටවල කුමන ක්‍රියාපටිපටිය තුළ ගියත්, අවසානයේ දරුවාට උසස් අධ්‍යාපනය හෝ කුසලතා සංවර්ධණය තුළින් කැමති වෘත්තියක් කරා දරුවා/පුරවැසියා ගෙන යෑමට තරම් හැකියාවක් රජයට ඇත. ඒ වාගේම සෑම වෘත්තියකම නිරත වෙන පුද්ගලයන්ගේ ජීවන තත්ත්වයන් සමානය. පාසල් තුළ තරගය අඩු වීමට, වංචාව, දූෂණය නැති වීමට ප්‍රධාන හේතුව එයයි.  තවද එම රටවල නීති පද්ධතිය තුළින් වංචා, දූෂණ හා අපහරණට කරන්නන්හට දැඩි දඩුවම් ලබා දෙයි. ඒ තුළින්ද පසල් තුළ මෙම ක්‍රියාවලියට දැඩි නියාමනයක් ලබා දී ඇත. අනෙක් කරුණ නම් පරිණත දේශපාලන සංස්කෘතියයි. මෙවැනි රටවල දේශපාලන මැදිහත් විම් සහ දේශපාලන බලය තුළින් මෙවැනි ක්‍රමවේදයන් අවභාවිතය අවමය.
 ශ්‍රී ලංකාවේ මෙම ප්‍රතිසංස්කරණවලට අප විරුද්ධ වීම “අධ්‍යාපන ප්‍රගතියට හෝ ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීමක් ” නොව, පද්ධතිය කෙරෙහි විශ්වාසය නොමැතිකම සහ අසාධාරණ සහ දූෂිත ක්‍රමයට විරුද්ධ වීම ලෙස තේරුම් ගත යුතුය.
 ඊට ප්‍රධානතම හේතුව නම්, මෙම නව ක්‍රමය යටතේ දුප්පත් දරුවන්ගේ විශ්වවිද්‍යාල සඳහා ඇති එකම අපක්ෂපාතී සාධාරණ දොරටුව වැසී යෑමයි.

උසස් පෙළ විභාගය යනු, අඩු අදායම්ලාභී පවුල්වල හා ග්‍රාමීය දරුවන්ට උසස් අධ්‍යාපනයට තිබෙන අවම දූෂණය සහිත සාධාරණ අවස්ථාවයි. නව ක්‍රමවේදය යටතේ පාසලට සහ ගුරුවරුන්ට දරුවන් ඇගයීමේ සම්පූරණ බලය හිමි වෙයි. අවුරුද්ද පුරා දරුවාගේ ක්‍රියාකාරකම් පාසල මඟින් සම්මුඛ පරීක්ෂණ, නිබන්ධන පැවරුම් ලකුණු ක්‍රම යන දේවල් මඟින් ඇගයීමට ලක් කරයි.
මෙම ක්‍රමය සාධාරණ, අපක්ෂපාතී සහ දූෂණයෙන් තොරව ලංකාවේ පාසල් තුළ ස්ථාපිත කරන්නේ කෙසේද?. අද ලංකාවේ පාසල් තුළ පාසලට ළමුන් ඇතුළත් කිරීමේ සිට පන්ති නායකයා, ශිෂ්‍ය නායක පට්ටං, ක්‍රීඩා ඇතුළු සියල්ලේදීම පගා ගැනීම්, සුදුස්සාට සුදුසු තැන නොලැබීම, ගුරුවරුන්ට “සළකන” දෙමාපියන්ගේ දරුවන්ට “ වැඩි සැළකිළි ” ලැබීම, දේශපාලකයන්ගේ දරුවන්ට සහ දේශපාලකයන්ගේ ගැත්තන්ගේ දරුවන්ට වැඩි අවස්ථා ලැබීම වැනි දේවල් දිනපතා අප පාසල් පද්ධතිය තුළ අත් විදියි. මෙවැනි තත්ත්වයක් ඇති ලංකාවේ, විශ්වවිද්‍යාල ප්‍රවේශ ලකුණු දීමේ බහුතර බලය පාසල් සහ ගුරුවරුන් අතට පත් කිරීම දරුවන්ට කෙසේ වෙතත් දූෂිත ගුරුවරුන්ට සහ දේශපාලකයන්ට වසන්තය උදා වීමකි.
අනෙක් කාරණය නම්, ලංකාව යනු, අනෙක් දකුණු ආසියාතික කළාපයේ අනෙක් රටවල් වාගේම ග්‍රාමීය–නාගරික පරතරය වැඩි රටකි. නගරයේ පාසල්වල ඇති පහසුකම්, සම්පත්, ගුරුවරු සහ ආකල්ප ග්‍රාමීය පාසල්වලට නැත. පාසල් අතර විශාල ගුරු හා භෞතික සම්පත් විශමතාවයක් පවතී. STEM සහ ICT අධ්‍යාපනය නගර පාසල්වලට වාසිදායකය. නමුත් ග්‍රාමීය පාසල්වලට ඒ සදහා අවශ්‍ය සම්පත් නැත. මෙම පරතරය නිවැරදි නොකර අධ්‍යාපන පද්ධතිය වෙනස් කිරීම තුළින් අසාධාරණයට ලක් වන්නේ ගම් වල දරුවන්ය. පාසල් 10,000 ක පමණ සම්පත් එකම මට්ටමකට ගෙන ඒමට ලංකාවට හැකියාවක් නොමැත. කොළඹ රාජකීය විද්‍යාලයේ හෝ විශාඛා විද්‍යාලයේ ඇති පහසුකම් ඇඹිලිපිටිය කොළොන්න පාසල්වල තියා ඉතා විශාල ඉතිහාසයක් සහ කීර්ති නාමයක් ඇති අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාපයේවත් නැත. පහේ ශිෂ්‍යත්ව විභාගය තුළින් රටේ සෑම දරුවකුටම කොළඹ නුවර හෝ තම දිස්ත්‍රීක්කයේ හොඳම පාසලකට ඇතුලත්වීමට තම දක්ෂතාවය හා හැකියාව මත උත්සහා ගැනීමට අවස්ථාව සකසා ඇත. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළහොත් රටේ දරුවන්ට නැති වන්නේ එම අවස්ථාවයි. එය එසේ සිදු වුව හොත් “කොළඹට කිරි, ගමට කැකිරි” යන්නෙහි සැබෑ අරුත ජනතාවට වැටහෙනු ඇත.

තවත් ප්‍රධානතම කාරණයක් වන්නේ, ලංකාවේ ගුරුවරුන්ගේ ආකල්ප සහ වැඩ කිරීමේ ධාරිතාවයි.

 අතීතයේ, ලංකාවේ ගුරු වෘත්තියට ඉතාමත් ගෞරවාන්විත වෘත්තියක්ව තිබිණි. එහෙත් පසුගිය දශක තුන ඇතුළත දේශපාලනීකරණය තුළින් සහ සමහර ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් නිසා ගුරුවරුන් කෙරෙහි කළින් පැවති විශ්වාසය හා ගෞරවය සමාජයෙන් බොහෝ දුරට ගිළිහී ඇත. එසේම ලංකාවේ ගුරුවරුන්ගේ සුදුසුකම්, වැඩ කිරීමේ හැකියාව හා ඔවුන්ගේ ආකල්ප උසස් මට්ටමක නැත. මේ අවස්ථාවේදීත් ලංකාවේ ගුරුවරු ඉන්නේ තම අයිකිවාසිකම් දිනා ගැනීමේ සටනකය. ඔවුන්ගේ වැටුප්, නිවාඩු, මාරුවීම්, තම දරුවා තමන් උගන්නන පාසලටම ඇතුළත් කැර  ගැනීම පමණක් නොව තමා පාසලට ඇදිය යුතු ඇඳුම ගැන පවා ඔවුන්ට ගැටලු ඇත. ඔවුන් තෘප්තිමත් නැත. වසරකට කිහිප වතාවක් ඔවුන් වැඩ වර්ජණ වලය, උද්ඝෝෂණ වලය. ලෙඩ නිවාඩු පිට දේශපාලන රැළි වලය. එවැනි පරිසරයක, විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි දරුවන්ගේ අනාගතය තීරණය කරන කඩයිමක තීරණය ගැනීමේදී පාසල් ගුරුවරුන් සෑම අවස්ථාවකම සාධාරණ, අදූෂිත සහ අපක්ෂපාතී තීරණ ගනී

වි යැයි සපත කළ හැකිද?.
 
තවද, අද රාජ්‍ය යාන්ත්‍රණය දෙස බලන කළ රජයේ නිලධාරීන්ට උඩින් නිරීක්ෂණයට හා අනුමත කිරීමට පක්ෂ කාඩරයේ පුද්ගලයන් යොදවා ඇතැයි ආණ්ඩුවට චෝදනා ඇත. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය හා YouTube අවකාශයේ පළවන තොරතුරුවලට අනුව, සුදුසුකම් රහිත, පක්ෂයේ දේශපාලන හෙන්චයින්ගේ අණට කීකරු වීමට රාජ්‍ය නිලධාරීන්ට සිදුව ඇත. ගම් සහ දිස්ත්‍රීක්ක මට්ටමේ තරුණ සමිති පිහිටුවීමේදී පමණක් නොව, දිට්වා කුණාටුවෙන් විපතට පත්වූවන්ට ආධාර ලබා ගැනීමේ දී ආණ්ඩුව ලබා දුන් පෝරමයට පවා, ගමේ පක්ෂ නියෝජිතයාගේ අත්සන ලබා ගැනීමට සිදු වූ අවස්ථා ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය හරහා වාර්තා විය. මෙවැනි පරිසරයක් තුළ, සීමිත සංඛ්‍යාවකට පමණක් නොමිලේ ලබා දිය හැකි විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය ලබා දීමට දරුවන් තෝරා ගැනීමට දේශපාලනය යොදා නොගනීවි යැයි සිතීමට තරම් ජනතාව මෝඩ නොවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය අතහැර චීනයේ හෝ රුසියාවේ පවතින සමාජවාදය යන වෙස්මුහුණ දමාගත් පැසිස්ට්වාදය වැළද ගැනීමට දත කන ප්‍රධාන පක්ෂයක් සහිත මාලිමා ආණ්ඩුව, තම පිරිස වැඩි කැර ගැනීමට සහ ඔවුනට මේ සීමිත අවස්ථා ලබා දීමට බලය යොදා නොගනී වි යැයි විශ්වාස කළ හැකිද?.

 අපේ රට ආර්ථික හා සමාජමය වශයෙන් සමාන වන්නේ ඉන්දියාවට, කෙන්යාවට හා දකුණු අප්‍රිකාවට මිස ෆින්ලන්තයට, සිංගප්පූරුවට හෝ කැනඩාවට වැනි රටවලට නොවේ. අපට සමාන රටවල අසාර්ථක වූ අධ්‍යාපන ව්‍යුහයක් ලංකාවේ පාසල් තුළට ගෙන ඒමට මාලිමා ආණ්ඩුව වෙර දරන්නේ ඇයිද යන්න ගැඹුරුව අධ්‍යයනය කළ යුතුය.
 
අවාසනාවකට අද රටේ අධ්‍යාපන විද්වතුන් සහ රටේ ජනතාවගේ අවධාණය යොමුව ඇත්තේ හයේ පන්තියේ පෙළ පොතක ඇති අන්තර්ගතයටය. ආණ්ඩුව යෝජණා කැර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල විශය මාලා සංස්කරණය යනු එක අංගයක් පමණි. විශය මාලා සංස්කරණයද ඔවුන් වරද්දාගෙන ඇත. අධ්‍යාපන විශය මාලා වෙනස් කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය නම්, පළමු වසරේ සිට දහතුන වසර දක්වාම, එනම් ආරම්භයේ සිට අවසානය දක්වාම විශය මාලාව සකස් කළ යුතුය. පන්තියෙන් පන්තියට, විෂයෙන් විශයට ක්‍රමාණුකූලව දරුවාගේ වැඩීමත් සමඟ උගන්වන විෂයන්ගේ අන්තර්ගතය පැහැදිළි කැර ගත යුතුය. සැළසුම් කැර ගත යුතුය. අප දන්නා පරිදි ඊළග වාරය සඳහාවත් නව විෂය මාලා පෙළපොත් තවම නිමවා නැත.
පාසල් සඳහා අවශ්‍ය සම්පත් ලබා දී නැත. ගුරුවරුන් අවශ්‍ය පරිදි පුහුණු කොට නැත. ගුරු අත්පොත් පවා තවම ලබා දී නැත. එක රැයින් හතු පිපෙන්නා සේ කරන්නන් වාලේ කරන්නට දැගලූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් වී ඇති එකම දේ නම් සමාජ කැළඹීමක් පමණි. සමාජ ව්‍යාකූලතාවයක් පමණි.
 ලෝකයේ අපගේ කළාපයේ රටවල් සමඟ සසදන කළ, ලංකාවේ පාසල් අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමක පවතී. ලංකාවේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූවන් ලෝකය පුරා උසස් සාර්ථක රැකියා වල නිරත වේ. දැනට පවතින උසස් අධ්‍යාපනය සඳහා දරුවන් තෝරා ගන්නා යාන්ත්‍රණය සාධාරණය. පාරදීෂ්‍යය. අවභාවිතා කිරීමට ඇති හැකියාව අවමය.
 එසේ නම් පාසල් තුළ ඇති තරගය, තරග විභාගවල ඇති තරගකාරිත්වය නැතිකොට දරුවන්ට නිදහසේ ඉගෙනීමට මං පාදන්නේ කෙසේද?.උත්තරය ඉතා සරළය. කළ යුත්තේ උසස් අධ්‍යාපනයට සහ වෘත්තීය අධ්‍යාපනයට ඇති ඉඩ අවස්ථා වැඩි කිරීමයි. රජයේ විශ්වවිද්‍යාලවලට බදවා ගන්නා ප්‍රමාණය වැඩි කිරීමයි. ප්‍රමිතියකින් යුතු රජයේ අධීක්ෂණය යටතේ පාලනය වන පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට ඉඩ සලසා දීමය. විශ්වවිද්‍යාල වලට ඇතුල් වන සිසුන් සඳහා ශිෂ්‍ය ණය ක්‍රම හදුන්වා දීමය. මීට අමතරව විශ්වවිද්‍යාල මාර්ග සහිත තාක්ෂණික සහ වෘත්තීය විෂය ධාරාවන් ඇති කිරීම කළ යුතුය. විශ්වවිද්‍යාල තුළ නව ලෝකයට, රැකියා  වෙළෙපොළට  ගැළපෙන පරිදි නව පාඨමාලා ඇති කිරීමය. සැමට නිදහසේ ඉගෙනීමේ අයිතිය ලැබෙන්නේ එවිටයි. නොමිලේ හෝ මුදල් ගෙවා ඉගෙන ගැනීමට සැමට අයිතියක් ඇත. සැමට නිදහසේ ඉගෙන ගැනීමට ඇති අයිතිය ස්ථාපිත කිරීම සැබෑ නිදහස් අධ්‍යාපනය ලබා දීමයි.

එලෙස සෑම දරුවෙකුටම කුමන හෝ මාර්ගයකින් උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට ලෙහෙසි පහසු මාවතක් සකසා දෙන්නේ නම්, පාසල් තුල තරගයක් ඇති වන්නේ නැත.


අද මුදල් යහමින් ඇති පවුල්වල දරුවන් පිට රටවල්වලට ගොස් පෞද්ගලික අධ්‍යාපනය ලබන අතර, මුදල් නැති පවුල්වල දරුවන්ට ඒ නිදහස නැත. ඔවුන්ට ඇති එකම මාර්ගය අද පවතින ජාතික විභාග ක්‍රමයයි. මාලිමා ආණ්ඩුව පහර ගහන්නේ ඒ දරුවන්ටය, ඒ දරුවන්ගේ අනාගතයටයය.

 අද ශ්‍රී ලංකාවේ ඇති තත්ත්වයට අනුව ෆින්ලන්තයේ හෝ සිංගප්පූරුවේ අධ්‍යාපන ක්‍රමය මෙරටේ ස්ථාපිත කළ නොහැක. පවතින ක්‍රමය වෙනස් කිරීමට පෙර මාලිමා  ආණ්ඩුව සෑම දරුවකුටම/පුරවැසියකුටම සමාන අවස්ථාවන් ලබා දීමට හැකියාවක් ඇති ආර්ථිකයක් ඇති කැර ගත යුතුය. අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව විනිවිදභාවයෙන් යුතු කතිකාවතක් සමාජයේ ඇති විය යුතුය. විෂය මාලා සංස්කරණය පෞද්ගලික අවශ්‍යතාවයන්ට හෝ න්‍යාය පත්‍රවලට අනුව නොව රටේ හර පද්ධතියට හා රටේ අනාගතයට ගැළපෙන පරිදි විය යුතුය.
 අධ්‍යාපනය විභාගයෙන් එහාට යා යුතුමය, එහෙත් දිගුකාළීණ දැක්මක් නැති, රටට නොගැළපෙන කරන්නන්වාලේ කරන අදූරදර්ශී අත්තනෝමතික ක්‍රියාවන් තුළින් මේ තාක් රැකගෙන ආ ලංකාවේ අධ්‍යාපනය කඩා වැටීම නෙවැළක්විය හැක. මාලිමා ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අප රටේ ඇති තරගකාරිත්වයට හෝ උසස් අධ්‍යාපන අවශ්‍යතා ගැටලුවලට විසදුමක් නොවේ. එය ඇත්තෙන්ම පය බරවායට පිටකර බෙහෙත් බදිනවා වාගේය. එය උගතුන්ගෙන් පිරි ඇතැයි කියන මාලිමා  ආණ්ඩුව නොදන්නවායැයි කිව නොහැක. එසේ නම් මෙම ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ තම පක්ෂයේ දිගු කාලීන දේශපාලන අරමුණු සාක්ෂාත් කැර ගැනීමට තම බලය පාසල් පද්ධතිය තුළට ඇතුලු කිරීමට යැයි ඇති වන සැකය සාධාරණය.

(සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)
ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
rasikuma@yahoo.com

(උපුටා ගැනීම – ඉරිදා මව්බිම )

Follow by Email
LinkedIn
Share
WhatsApp