Impartial news reporting for a stronger democratic society
කොළඹ වරාය නගරය ගෝලීය ආර්ථික පරිවර්තනයේ කේන්ද්‍රස්ථානයක් — සිංගප්පූරුවේ පැවැති ආයෝජන සමුළුව අමතමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ වරාය නගර ස්ථානගත  කිරිම අරමුණු කැර ගනිමින්, විශේෂ ආයෝජන සමුළුවක්  පසුගිය දා (27)  සිංගප්පූරුවේ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම ආයෝජන සමුළුව සංවිධානය  කැර තිබිණි.

දේපොළ වෙළෙඳාම්, මූල්‍ය සේවා, ආයෝජන සහ වත්කම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් සේවා, වෘත්තීය සේවා සහ කලාපීය ව්‍යාපාරික නායකත්වය යන අංශවලින් ජ්‍යෙෂ්ඨ ආරාධිතයින් 100 ක් පමණ මෙම ආයෝජන සමුළුවට පැමිණ තිතිණී.

 කොළඹ වරාය නගර ආයතනයේ සේවා ප්‍රමුඛ ආයෝජන යෝජනාව කෙරෙහි පුළුල්  සාකච්ඡාවක්  මෙහිදී සිදු විය.

මෙම සම්මේලනය ,විවෘත කරමින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා මෙසේ  පැවසීය.

 සිංගප්පූරුව සහ කලාපීය හවුල්කරුවන් සමඟ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවීමෙන්  කටයුතු කරනවා. කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති ජාත්‍යන්තරව පෙළගැස්වූ ප්‍රමිතීන් යටතේ ගෝලීය වෙළෙඳපොළවල් සමඟ වඩාත් ගැඹුරින් ඒකාබද්ධ වීමට සූදානම් බව කිව යුතුයි.

 මෙහි  ප්‍රධාන දේශනය පවත්වමින්, විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා  මෙසේ පැවසීය.

අද ශ්‍රී ලංකාව ගැන කිවයුත්තේ “ප්‍රකෘතිමත් වීමේ කතාවක් නොව, පරිවර්තනය වීමේ  කතාවක් ” . එම පරිවර්තනය ස්පර්ශ කරන වේදිකාවක් ලෙස කොළඹ වරාය නගරය සහ එහි සේවා හඳුන්වා දිය  හැකි. ඉතිහාසයේ දරුණුතම අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික පෙරළියක් කරා ගමන් කරමින්  තිබෙනවා. පොදු නීති සම්ප්‍රදායන්, ද්විපාර්ශ්වික ආයෝජන ආරක්ෂණ ගිවිසුම්, ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුම් සහ ජාත්‍යන්තර බේරුම්කරණය පිළිගැනීම තුළින් ආයෝජකයන්ට ප්‍රාග්ධනය ආපසු ගෙනයෑමට සහ ජාත්‍යන්තර ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන්ට ප්‍රවේශ වීමට නිදහස ලබා දෙනවා. ශ්‍රී ලංකාව පැහැදිලි සහ හුරුපුරුදු ආයෝජන පරිසරයක්  නිරිමානය කර දෙනවා.

2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පිහිටුවන ලද කොළඹ වරාය නගර කොළඹ හි පාලන රාමුව පිළිබඳව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ (CPCEC) සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා විස්තර කෙළේය. කොළඹ වරාය නගර කලාපය යනු ශ්‍රී ලංකාවේ පළමු බහු-සේවා විශේෂ ආර්ථික කලාපයක්. එය ස්වාධීන කොමිසමක් මඟින් පාලනය වන අතර තනි කවුළු පහසුකම් යාන්ත්‍රණයකින් සහාය දක්වනවා. ආයෝජන ආරක්ෂාව, පුරෝකථනය කළ හැකි දිරිගැන්වීම් සහ ශක්තිමත් නීතිමය ආරක්ෂාවන් ලබා දෙනවා.

සිංගප්පූරුවේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබුණු අදහස් සහ GFTN කැපිටල් හි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සහ සිංගප්පූරු- ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (SICCI) සභාපති නීල් පරේක් මහතාගේ අදහස් සහ සිංගප්පූරුවේ දේපෙළ වෙළෙඳාම් සංවර්ධකයන්ගේ සංගමයේ (REDAS) ප්‍රධාන විධායක නිලධාරී ඇන්තනි චුවා මහතාගේ වෙළෙඳපොළ ඉදිරි දර්ශන ද මෙම සමුළුවේදී ඉදිරිපත් විය. ඔහු කලාපීය සහ ගෝලීය ආයෝජකයන් සඳහා දොරටුවක් ලෙස කොළඹ වරාය නගරයේ උපායමාර්ගික අදාළත්වය ඉස්මතු කෙළේය.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන හවුල්කරුවකු සහ සහයෝගිතාකරුවකු වන කෙපල් ඇතුළු ප්‍රමුඛ පෙළේ කලාපීය සහ ගෝලීය සමාගම් සමඟ කොළඹ වරාය නගර සහයෝගීතාවය වර්ධනය වන ආකාරය මෙම සාකච්ඡාවලදී ඉස්මතු විය. කෙපල් හි දේපොළ වෙළෙඳාම් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලැම් සියු චැං මහතා කියා සිටියේ, තිරසාර නාගරික සංවර්ධනය, යටිතල පහසුකම් මඟින් මෙහෙයවනු ලබන වර්ධනය සහ දිගුකාලීන ආයතනික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමේදී ඒකාබද්ධ, අනාගතයට සූදානම් නගරවල කාර්යභාරය, ගෝලීය හොඳම භාවිතයන් සමඟ උපායමාර්ගික පෙළගැස්ම ශක්තිමත් කිරීම සහ දිගුකාලීන ආයෝජන ගමනාන්තයක් ලෙස කොළඹ වරාය නගර කෙරෙහි ආයතනික උනන්දුව පිළිබඳ ඉදිරිදර්ශන  පැහැදී කෙළේය.

CPCEC හි අධ්‍යක්ෂ ජනරාල් රෙවාන් වික්‍රමසිංහ මහතා විසින් ආයෝජන අවස්ථා සහ ක්‍රියාවලීන් පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලද අතර, ඔහු විධිමත් ක්‍රියාවලිය, උපායමාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා දිගුකාලීන මූල්‍ය දිරිගැන්වීම්, විදේශ විනිමය පනත යටතේ නිදහස් කිරීම් හරහා ප්‍රාග්ධනයේ වැඩි දියුණු කළ සංචලතාව, නම් කරන ලද මුදල් වර්ග 16 කින් විදේශ මුදල් ගනුදෙනු සහ ආයෝජකයින් සහ වෘත්තිකයන් සඳහා හරිත නාලිකාවක් හරහා වීසා පහසුකම් සැපයීම යන කරුණු ගෙනහැර දැක්වීය.

KPMG ශ්‍රී ලංකා ආයතනය විසින් ස්වාධීන තෙවැනි පාර්ශ්වීය දෘෂ්ටිකෝණයන් සපයන ලද අතර, සුරේෂ් පෙරේරා මහතා සහ රිෆ්කා සියාර්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම සහ කොළඹ වරාය නගර පද්ධතියට අදාළ බදු සහ නියාමන රාමුව පිළිබඳ වෛෂයික තක්සේරුවක් ඉදිරිපත් කළහ.

ඇන්සල් සහ මිලේනියම් IT ESP වෙතින් ලැබුණු සාක්ෂි හරහා ආයෝජක විශ්වාසය ශක්තිමත් කරන ලද අතර, ශ්‍රී ලංකාවේ සහ කොළඹ වරාය නගර පරිසර පද්ධතිය තුළ ක්‍රියාත්මක වීමේ පළමු අත්දැකීම් බෙදා ගන්නා ලදී.

සංසදය අවසන් කරමින්, ප්‍රාථමික සංවර්ධකයෙකු වන CHEC වරාය නගර කොළඹ (පුද්) සමාගමේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂිකා බායි ෂියාපින් මහත්මිය ස්තූති කතාව කරමින්, සංවර්ධනය මඟින් ව්‍යාපාරවලට කලාපීය මූලස්ථාන ස්ථාපිත කිරීමට, මෙහෙයුම් පරිමාණය කිරීමට, ගෝලීය කුසලතාවන්ට ප්‍රවේශ වීමට සහ දකුණු ආසියාවට සහ පුළුල් ඉන්දියානු සාගර ආර්ථිකයට බාධාවකින් තොරව සම්බන්ධ විය හැකි පුළුල් පරිසර පද්ධතියක් නියෝජනය කරන බව  ද සඳහන් කළාය.

(Cyber World Press)

Follow by Email
LinkedIn
Share
WhatsApp