
අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනා එල්ල වී සිටින, හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ට කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම අද (11) අධි චෝදනා භාරදීම සිදු කැර තිබේ.
ඒ් , මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
ඉන් අනතුරුව, විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරු නියෝග කැර ඇත.
2022 ජනවාරි 01 වැනිදා සහ 2023 නොවැම්බර් 14 වැනි දා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් විසිනව කෝටී හැටපන්ලක්ෂ හැටහය දහස් හාරසිය හතලිස් හතරයි ශත හැත්තෑ හයක් (රු. 296,566,444.76) වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන, ඉන් රුපියල් විසිහත් කෝටි පනස්තුන් ලක්ෂ දෙදහස් හයසිය දහසයයි ශත හයක් (රු. 275,302,616.06) වටිනාකමකින් යුත් මුදල් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කැර තිබේ.
Sri Lanka Brief ඇසුරෙන්
