
අස්ථි කොටස් හමුවීමකින් තොරව මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ ඇති සමුහ සුසාන භූමියේ කැනීම් සහ විමර්ශන සිදු කිරීමට අධිකරණය දින තීරණය කැර ඇත.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට අහඹුවක් ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරව මෙම සමුහ සුසාන භූමියේ කැනීම් සහ විමර්ශන සිදු කිරීමට පියවර ගෙන තිබේ.
ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුල ඝාතනය කැර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් හි සමුහ මිනී වලේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 28 ක මුදල් ඇස්තමේන්තුව, 2025 සැප්තැම්බර් 23 වැනි දින කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැර තිබුණි.
ඒ පිළිබඳ මුලික නඩු විභාගය 2026 මාර්තු 9 වැනිදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ යළි විභාගයට ගැනීමෙන් අනතුරුව, වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාෂි මුහම්මද් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුණේ මාර්තු 30 වැනිදා සමුහ සුසානයේ පළමු අදියරේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.
“මේ කැණීම් කටයුතු සඳහා වෙන් කරන ලද මුදල් ලැබීමේදී යම් ප්‍රමාදයක් තිබුණා. වෙන් කරන ලද මුදල් ලැබිලා වියදම් කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය බලය ලබා දී තිබෙනවා. 30 වැනි දින කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියෝග නිකුත් කළා. අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු කැණීම් කටයුතුවලට සම්බන්ධ බලධාරීන්ගේ නිර්දේශය මත මාර්තු 30 වැනි දින සිට කැණීම් කටයුතුවල පළමු අදියර ආරම්භ කිරීමට නියමිතයි. කලවංචිකුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු අදාළ බලධාරීන්ට කැනීම් කටයුතු වලට අදාළ සූදානම් කිරීම් සිදු කරන ලෙස නියෝග කළා.”
2026 මාර්තු 9 වැනි දා ධර්මලිංගම් ප්‍රදීපන් මහේස්ත්‍රාත්වරයා විසින් සමුහ මිනීවල ඇති බවට සැකකෙරෙන ස්ථානය නිරීක්ෂණ කරන ලද්දේ වින්දිතයන්ගේ නීතිඥයන්, පොලිසිය, අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන් හා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හමුවේය.
ශ්‍රී ලංකාවේ විමර්ශන සිදුකෙරෙන සමූහ සුසාන අතරින් අහම්බෙන් ඇටසැකිලි හමු නොවී කැනීම් ආරම්භ කිරීමට නියමිත පළමු සමූහ මිනීවල මෙය වන්නේය. මීට ඉහතදී උතුරේත්, කොළඹත්, සාම්පුර්හිත්, මාතලේත් එවැනි විමර්ශන ආරම්භ කෙරුනේ අහම්බයකින් මිනිස් ඇටකටු මතුවීමෙන් අනතුරුවය.
සමුහ මිනී වළක් ඇති බව පැවසෙන එම ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස 2025 අගෝස්තු 25 වැනිදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් රජයේ නිලධාරීන්ට නියෝග කර තිබුණි.
දශක තුන හමාරකට ඉහත දී සිදු වු එම සමුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයටයි.
2014 සංචාරක අධිකරණයේ
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 1990 වසරේ හජ් වන්දනාව අවසන් කැර කාත්තන්කුඩිය වෙත පැමිණෙමින් සිටි ඉස්ලාම් භක්තිකයන් පිරිසක් සමුල ඝාතනය කැර කුරුක්කල්මඩම්හි වළ දමා ඇති බවට ප්රදේශවාසියකු වන අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් කලවංචිකුඩ් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව 2014 දී කලවංචිකුඩි සංචාරක අධිකරණයේ නඩුවක් ගොනු කැර තිබු බවයි.
එම නඩුව 2014 වසරේ ජුලි 01 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ සමුල ඝාතනය කළ පිරිස වළ දමා ඇති බවට සාධාරණ සැකයක් පවතින භුමිය කැනීම් කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස විනිසුරු ඒ.එම් රියාල් නියෝග කළත් එම කටයුතු සිදු නොවු බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
පැමිණිලිකාර අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් සිය නීතිඥයන් මාර්ගයෙන් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද මෝසමක් මත පදනම්ව එකොලොස් වසරකට පසුව 2025ජුලි 11වැනි දින සිට විවෘත අධිකරණයේදී මෙම නඩුව යළි විභාගයට ගැනීම ආරම්භ කැර තිබුණි.

( Source – The Leader)
