
දහසය වසරකට අධික කාලයක් මුළුල්ලේ යුද හමුදාව බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින කිලිනොච්චියේ දෙමළ ජනයාට අයත් ඉඩමක අයිතිය යුද හමුදාවට නිලවශයෙන් පවරා ගැනීමට දැරූ උත්සාහයක් ඉඩම් හිමියන්ගේ හා දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් පසුබස්වා ගෙන තිබේ.
පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ කිලිනොච්චිය, පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඌර්වනිගන්පට්රු ග්‍රාමයේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 4 වැනි අනු ඛණ්ඩය ස්ථාපනය කැර ඇත්තේ ප්‍රදේශවාසීන් 23 දෙනකුට අයත් අක්කර 25.73 ක පෞද්ගලික ඉඩමක්ද අත්පත්කැර ගනිමින් බවයි.
ඉඩම් අත්පත්කැර ගැනීමේ පනතේ 4 වැනි වගන්තිය යටතේ එම භුමිය මැනීමේ කටයුතු 2026 අප්‍රේල් මස 2 වැනි බ්‍රහස්පතින්දා සිදු කිරීමට තිරණය කැර ඇති බව රජයේ මිනින්දෝරු වී. නිදර්ශන් සිදු කරන ලද නිල නිවේදනයට අනුව ඉඩම් හිමිකරුවන් එදින පෙරවරුවේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ හමුදා කඳවුර ඉදිරිපිට ට රැස්ව ඇත්තේ දෙමළ ජනතා නියෝජිතයන්ගේද සහභාගිත්වයෙනි.
එහිදී එම කඳවුර ඉදිකර තිබෙන සිය ඉඩම්වල ඔප්පුද ප්‍රදර්ශනය කරමින් ඔවුන් සාමකාමී විරෝධයක් දියත් කැර ඇත්තේ “අපිට අයිති භුමියේ ජීවත් වීමට ඉඩ දියව්, අපේ ඉඩම අපිට ඕනේ, ගරු ජනාධිපතිතුමා ජනතාවගේ ඉඩම් ජනතාවට කිව්වා. එහෙනම් ඇයි මේ ඉඩම් අත්පත්කරන උත්සාහය?” ආදී සටන් පුවරුද ප්‍රදර්ශනය කරමිනි.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ එම භුමිය මැනීමේ කටයුතු වහාම නවතා දමන ලෙස විරෝධතාකරුවන් දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කළ ඉල්ලීම දිස්ත්‍රික් ලේකම් සැනින් ලිපියක් මාර්ගයෙන් කිලිනොච්චියේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි.
ඒ අනුව ඉඩම් මැනීමේ කටයුතු සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් එම ස්ථානයට පැමිණ නැති අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් එහිදී මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කැර තිබුණේ ජනතාවගේ ඉඩම් නිදහස් කැර ගැනිමේ උත්සාහයේ දිගටම නිතර වන බවයි.
“දිස්ත්‍රික් ලේකම්ගේ උපදෙස් සහ පචිච්ලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීම මත ඉඩම් මැනීමේ කටයුතු නවත්වලා තියනවා. අද දින පැමිණීමට නියමිතව සිටි ඉඩම් මැනීමේ දෙපාර්තමේන්තු නිලධාරීන් අපි නැවැත්තුවා. ජනතාවගේ මේ ඉඩම නිදහස් කැර ගැනීමේ උත්සාහය අපි දිගටම කරනවා. “
පචිච්ලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ සභාපති සුබ්‍රමනියම් සුරේන්ගේ සංවිධානත්වයෙන්, ඉඩම් අහිමිවුවන්ගේ සහභාගීත්වයෙන් දියත් වු සාමකාමී විරෝධතාවය සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා ද එක්ව සිටි බව පළාත් මාධ්‍යවේදීයෝ වැඩි දුරටත් පවසති.
(Source-The Leader)
