Impartial news reporting for a stronger democratic society
 කැනීම්වලට මුදල් අනුමත වී නැහැ : චෙම්මනි සමූහ මිනීවල බලන්න විදේශීය දූත මණ්ඩලවලටත් අවසර

 චෙම්මනි සමූහ මිනීවලේ  කැනීම් සහ විමර්ශන  කටයුතු කැර ගෙන යෑම සඳහා රජයෙන් ඉල්ලා ඇති මුදල් මාස ගණනක් තිස්සේ අනුමත වී නැති බවත්, සමුහ මිනීවල නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය දූත මණ්ඩලවලට අධිකරණ අනුමැතිය ලැබී  ඇති බවත් අනාවරනය වෙයි.

උතුරේ පිහිටි, ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2026 අප්‍රේල් 7 වැනිදා විභාගයට ගැනීමෙන් අනතුරුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා මාධ්‍යවේදීන් හමුවේ හෙළි කැර තිබුනේ එම සමුහ මිනි වල නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ඇතුළු විදේශීය දුත මණ්ඩල ප්‍රධානීන් පිරිසකට යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අනුමැතිය ලැබුණු බවයි.  
“යුරෝපීය සංගමයේ නියෝජිතයන් සොහොන නැරඹීමට අවසර ඉල්ලා සිටි අතර අධිකරණය ඔවුන්ට පෙ.ව. 9 ට පෙර හෝ ප.ව. 2.30 න් පසු සොහොන නැරඹීමට අවසර ලබා දී තිබෙනවා. ඔවුන් පැමිණීමට බලාපොරොත්තු වන වේලාව පිළිබඳව කල්තියා දැනුම් දෙන ලෙස ද අධිකරණය ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා.”
සමුහ සුසානය නැරඹිම සදහා  යුරෝපීය සංගමයේ නියෝජිතයන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් අවසර ඉල්ලා තිබු අතර එම ඉල්ලීම අධිකරණයට යොමු කළ බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නීතිඥ පුර්ණිමා මරියනාගයම් මාධ්‍යවේදීන්ට හමුවේ සදහන් කළාය.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ දුත මණ්ඩලයට අමතරව ප්‍රංශ, ජර්මන්, ඉතාලි සහ රුමේනියා තානාපති සේවා චෙම්මනි සමූහ මිනීවල නිරීක්ෂණයට අවසර ඉල්ලා තිබුණි.
හත් මසකට ඉහත දී වැඩ අත්හිටවූ සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු ආරම්භ කිරීමේ යෝජිත දිනය ලෙස පසුගිය නඩු වාරයේදී මහේස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 20 දා නම් කර තිබුනි.  වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළේ ඒ සදහා ඉල්ලා තිබු මුදල් මේ වන තෙක් ලැබී නොමැති බව අධිකරණය දැනුම් දුන් අතර එහි ප්‍රගතිය සලකා බැලීම අප්‍රේල් 21 වැනිදා සිදු කිරීමට නියමිත බවයි.
“කැණීම් කටයුතුවල ඊළඟ අදියර සඳහා කටයුතු අවසන් කර සූදානම් බව අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රණවන් දැනුම් දුන්නා. නමුත්, 2026 පෙබරවාරි 12 වැනි  දින යාපනය මහාධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අයවැය තවමත් අනුමත කර නොමැති බව අධිකරණය ප්‍රකාශ කරා. කැණීම් කටයුතුවල ඊළඟ අදියර අප්‍රේල් 20 වැනි  දින ආරම්භ කිරීමට  සැලසුම් කර ඇති බව අධිකරණය ප්‍රකාශ කළ නමුත් එම දිනයේ ආරම්භ කිරීමට නොහැකි තත්වයක් තිබෙනවා. නමුත්, මුදල් ලැබුනොත් කැනීම් කටයුතු අප්‍රේල් 27 වැනි දින ආරම්භ කිරීමට පුළුවන් කියලා තිරණය කළා. එම කැනීම් කටයුතු පටන් ගැනීමට අයවැය සුදානම්ද, නැතිද කියලා පරීක්ෂා කිරීම සදහා නඩුව අප්‍රේල් 21 වැනි දින නැවත කැදවනවා.”
තෙවැනි අදියරේ කැනීම් කටයුතු සදහා මෙන්ම මේ වන විටත් ගොඩ ගෙන තිබෙන මිනිස් අස්ථි සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සදහා ඉල්ලා තිබු මුදලද අනුමත වී නොමැති බව මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා එහිදි  වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
“කැණීම් කටයුතු සහ මිනිස් අස්ථි පරීක්ෂාව සඳහා අයවැය එකට ඉදිරිපත් කරලා තිබුනා. දෙකටම අනුමැතිය තවමත් ලබා දී නැහැ. මිනිස් අස්ථි පරීක්ෂාව සඳහා අයවැය අධිකරණයේ වෛද්‍ය නිලධාරියා විසින් සුළු සංශෝධන සහිතව අධිකරණයට නැවත ඉදිරිපත් කළා. අධිකරණ වෛද්‍ය නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දෙකටම අනුමැතිය ලබා දෙන්න කියලා.”
සමූහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු සදහා පසුගිය වසරේ  ඉල්ලා තිබු රුපියල් මිලියන 19ක මුදල අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා දී තිබුනත් ප්‍රදේශයේ ඒ වන විට පැවැති වැසි තත්වය හමුවේ කැනීම් කටයුතු මේ වන තෙක්ම ආරම්භ කිරීමට නොහැකි වු අතර 2025වසර අවසන් වීම හේතුවෙන් එම මුදල් මේ වසර මුලදී ආපසු හරවා යවන්නට සිදුව තිබුනි.
ඒ අනුව තවත් දින පනස් හයක කාලයක් කැනීම් කටයුතු සදහා අවශ්‍ය මුදල් ඇස්තමේන්තුවක් 2026 පෙබරවාරි 09  දා  යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්  යළිත් වරක්  අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පළාත් බද මාධ්‍යවේදීන්ට දැන ගන්නට ලැබී ඇති පරිදි  එලෙස කැනීම් කටයුතු වෙනුවෙන් පමණක්  අලුතින් ඉල්ලුම් කර ඇති මුදල රුපියල් මිලියන විසි එකක් පමණ වේ.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය  කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.
දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල්  නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු  ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

( Source- The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp