
කැනඩාවේ ගොවිපොළවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.
විශ්‍රාමික වතු කළමනාකරුවෙකු වන සැකකරු ගාල්ල හා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් කැනඩා රැකියා ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් ලබාගෙන ඇත. ඔහුට මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි විදේශ රැකියාව ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් කාර්යාංශය වෙත පැමිණිලි කැර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් වරකාපොළ, අඔගලකන්ද ප්‍රදේශයේ ඔහුගේ නිවෙසේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදීමට රුපියල් 75,000 බැගින් ලබාගත් ගිවිසුම් 3ක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වරකාපොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.
මේ අතර, ස්විට්සර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17ක මුදලක් වංචාකළ කාන්තාවක්ද විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් 2025.11.17 දින අත්අඩංගුවට ගන්නා ලදී. කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් වස්කඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මුදල් ලබාදී ඇති අතර, රැකියාව ලබා නොදීම හේතුවෙන් ඔහු කාර්යාංශය වෙත පැමිණිලි කැර තිබේ.
එම කාන්තාව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මහජන සම්බන්ධතා නිළධාරිනියක වශයෙන් සේවය කරන තැනැත්තියක් වන අතර, සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහ කළද ඇය නිළධාරීන් මග හැර සැගව සිට තිබේ. එම කාන්තාව ඇය සේවය කරන පුද්ගලික රෝහලේ සිටින බවට ලද තොරතුරක් අනුව විමර්ශන නිළධාරීන් අදාළ ස්ථානයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. සැකකාරිය නොවැම්බර් මස 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කෙළේය.
කාර්යාංශයට දෛනිකව විදේශ රැකියා වංචනිකයින් සම්බන්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන අතර, එම පැමිණිලි අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන මෙහෙයුම් පුළුල් කැර තිබේ. වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් 0112882228 අංකය ඔස්සේ කාර්යාංශ විශේෂ විමර්ශන අංශය යටතේ ස්ථාපිත පොලිස් ඒකකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි
