
අමෙරිකාවේ ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකාව වූ හිටපු උප ජනාධිපතිනී කමලා හැරිස්, 2028 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීම පිළිබඳව සලකා බලමින් සිටින බව අනාවරණය වෙයි.
‘නැෂනල් ඇක්ෂන් නෙට්වර්ක්’ (National Action Network) නම් සිවිල් අයිතිවාසිකම් සංවිධානයේ රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේදී ඇය ප්‍රසිද්ධියේ මේ බව පවසා තිබුණාය.
නිව්යෝර්ක් නුවර පැවැති මෙම රැස්වීමට රැස්ව සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ මේ බව පැවසූ ඇය කියාසිටියේ, තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇතැම් විට ඉදිරිපත් වීමේ හැකියාව පවතින අතර, තමන් ඒ පිළිබඳ සලකා බලමින් සිටින බවයි.
2028 වසරේදී අමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති ලෙස හොඳම සේවය ලබාදිය හැක්කේ කාටද යන්න පදනම් කැර ගනිමින් තමා තරඟ කිරීම පිළිබඳව තීරණය කරන බව හැරිස් වැඩිදුරටත් පැවසුවාය.
ජනාධිපති ජෝ බයිඩන් යටතේ උපජනාධිපති ලෙස කටයුතු කළ හැරිස්, 2024 ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වූවාය.
ඇය මීට පෙර එක්සත් ජනපද සෙනෙට් සභිකවරියක සහ කැලිෆෝනියාවේ නීතිපතිවරිය ලෙසද කටයුතු කැර ඇත.
ඇය 2020 වසරේදී ද ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වූවාය.
කෙසේ වෙතත්, හැරිස්ගේ 2024 පරාජයෙන් පසුව ඩිමොක්රටික් පක්ෂය නව නායකයන් දැකීමට කැමැත්තෙන් සිටින බව සඳහාන්ය.
