
අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්රදේශයෙන් අද (22) පෙරවරුවේ සිදු වූ නායයෑමෙන් පුද්ගලයන් හය දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්රදේශයේ පිහිටි කුඩා හෝටලයක් මතට විශාල ප්රමාණයේ කළු ගලක් අද පෙරවරු 9.00ට පමණ පස් සමඟ පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
මෙම කුඩා හෝටලය මුළුමනින්ම විනාශ වී ගොස් ඇති අතර, මෙහි තේ බීම සදහා පැමිණි පුද්ගලයන් කිප දෙනකු පස් සහ ගල්වලට යටවීමෙන් මිය ගොස් ඇත.

මේ හේතුවෙන් ගනේතැන්න ප්රදේශයෙන් කොළඹ – නුවර ප්රධාන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත.
මෙම සිද්ධිය සිදුවූ වහාම සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරණු ලැබු අතර ඒ සඳහා යුද හමුදා භට කණ්ඩායමක්ද යෙදවීමට පියවර ගැනුණි.
ඒ අනුව යුද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ සහන සේව කණ්ඩායම් මෙන්ම ප්රදේශවාසීන්ද සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් මුදවා ගැනීම සඳහා පැය 11 දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළ අතර ,එය අද සවස 4.30 පමණ වන විට අවසන් වී ඇත.
ඒ හේතුවෙන් එම ප්රදේශය හරහා ගමන් ගන්නා රථ වාහන රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද මාවනැල්ල පොලීසිය මේ වන විට උපදෙස් ලබා දී ඇත.
