
ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට මේ වන විට බලපෑම් කරමින් සිටින බව ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයකු රොයිටර් පුවත් සේවයට සහ සයිබර් වර්ල්ඩ් ප්‍රෙස් පුවත් සේවයට ඊයේ (05) රාත්‍රියේ ප්‍රකාශ කැර තිබේ.
යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයන් නැවත ගෙන්වා නොගන්නා ලෙසට අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවට එහි සඳහන් වේ.
අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවයන් මේ බව සඳහාන් කරයි.
ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි සයිබර් වර්ල්ඩ් ප්‍රෙස් පුවත් සේවය විමසු විට, ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයා පැහැදිලි උත්තරයක් ලබා දී නොමැත.ඔහු පවසා ඇත්තේ, මෙම නැවියන්ගේ සියලු තොරතුරු කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලා ඇති බවයි.
මෙරට තුළ රඳවාගෙන සිටින නාවිකයන් ප්රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කිරීමට හෝ ඒවා වෙනස් කිරිමට පියවර ගත යුතු බව අමෙරිකාව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.
පසුගිය බදාදා (04) ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් IRIS Dena යුද නෞකාව ගිල්වා දමන ලදී.
ඉන් නාවිකයන් විශාල පිරිසක් මිය අතර, මෙරට නාවික හමුදාවේ සහාය ඇති ජීවතුන් අතර සිටි 32 දෙනෙකු ගොඩබිමට රැගෙන එනු ලැබීය.
අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් රෝහල් ගත කෙරුණි.

