
ඉරාන ඉස්ලාමීය ජනරජයේ බුද්ධි තොරතුරු ඇමැති ඉස්මායිල් කාතිබ් ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ඉස්රායිල් කැට්ස් ප්‍රකාශ කැර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊශ්‍රායල හමුදාව පෙරේදා(17) රාත්‍රියේ සිදුකළ ප්‍රහාරයකින් ටෙහෙරාන් අගනුවර රහසිගත ස්ථානයක සිටි බුද්ධි තොරතුරු ඇමැතිවරයා මියගිය බවයි. ඉරානයේ ඕනෑම ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඉලක්ක කිරීමට ඊශ්‍රායල හමුදාවට රජයේ හෝ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අනුමැතිය අවශ්‍ය නොවන බව ද ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කැර තිබේ. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයට ඉරාන රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව ද වාර්තා වේ.
වසර 2021 දී එවකට ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිස් විසින් බුද්ධි තොරතුරු ඇමැතිවරයා ලෙස පත් කරනු ලැබූ 64 හැවිරිදි ඉස්මායිල් කාතිබ් ආගමික විද්වතකු ලෙස එරට ආගමික කවුන්සිලයේ ද සාමාජිකයකු වන අතර, හිටපු උත්තරීතර නායක අලි කමේනිගේ සමීපතමයකු වන බව ද සඳහාන් වේ. 1979 ඉරාන විප්ලවයෙන් පසු ඔහු එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක හමුදාවට එක්වූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
