

ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර ආගමික නායක අයතොල්ලා අලි කමෙනි සහාසික ලෙස ඝාතනය කරමින්, නීති විරෝධීව සිදු කරන මිලිටරි ආක්‍රමණ ක්‍රියාවන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (CPSL) නිවේදනයක් නිතුත් කරමින් කියා සිටි.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කැර ඇති නිවේදනයේ තවදුරටත් මෙසේ ද සඳහාන් වේ.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානයට එරෙහිව දියත් කැර ඇති ප්‍රහාරයන්, ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටක ස්වෛරීභාවයට පහරදීමක් සහ සමස්ත මැද පෙරදිග පුළුල් හා පාලනය කළ නොහැකි ගැටුමකට ඇද දමන ආකාරයේ බරපතළ ක්‍රියාවක් වන අතර, එය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි තත්ත්වයකි.
ඊශ්‍රායලය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන අමෙරිකා එක්සත් ජනපදය, බටහිර ආසියාව මිලිටරිකරණය කරමින්, ආධිපත්‍යවාදී ප්‍රතිපත්තියක් දිගටම අනුගමනය කරන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ගැඹුරු කනස්සල්ලෙන් සටහන් කරයි. මෙම ක්‍රියා හුදකලා සිදුවීම් නොව, කලාපයේ ජනතාව බිල්ලට දෙමින්, භූ දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා නිර්මාණය කැර ඇති අස්ථාවර කිරීමේ, පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් සහ ඒකපාර්ශ්වික බලය භාවිතා කිරීමේ දිගුකාලීන රටාවක කොටසකි. ඉරානයට එරෙහි නවතම ප්‍රහාර මෙම අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයේ තවත් ප්‍රකාශනයකි.
ඊශ්‍රායලය අඛණ්ඩව, පලස්තීන භුමිය අත්පත් කැර ගනිමින්, ජාත්‍යන්තර මානුෂීය නීතිය නැවත නැවතත් උල්ලංඝනය කිරීම සහ එහි දේශසීමාවලින් ඔබ්බට අඛණ්ඩව හමුදා මෙහෙයුම් සිදු කිරීම තුළින් කලාපීය ආතතීන් අවුළුවාලීමේ සහ තීව්‍ර කිරීමේ කාර්යභාරය අපි තවදුරටත් හෙළා දකිමු. ඉරානයට එරෙහි එක්සත් ජනපද – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරය, ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහි ප්‍රතිරෝධය මැඩපැවැත්වීමේ සහ බටහිර නියෝගයන්ට යටත් වීම ප්‍රතික්ෂේප කරන රාජ්‍යයන් නිහඬ කිරීමේ පුළුල් උපාය මාර්ගයෙන් වෙන් කළ නොහැකි ය.
දශක ගණනාවක් තිස්සේ යුද්ධ, සම්බාධක, අවහිර කිරීම් සහ විදේශ මැදිහත්වීම් විඳදරා ගත් ඉරාන ජනතාව සහ මැද පෙරදිග සියලුම ජනතාව සමඟ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ස්ථිරව සිටී. බෝම්බ, ඝාතන හෝ බලහත්කාරයෙන් කලාපයේ සාමය සාක්ෂාත් කරගත නොහැකි බවත්, එය කළ හැක්කේ ස්වෛරීභාවයට ගරු කිරීම, ජාත්‍යන්තර නීතියට අනුගත වීම සහ බාහිර පීඩනයෙන් තොරව තමන්ගේම දේශපාලන හා ආර්ථික මාර්ග තීරණය කිරීමට ජාතීන්ට ඇති අයිතිය පිළිගැනීම තුළින් පමණක් බවත් අපි නැවත අවධාරණය කරමු.
මෙම භයානක උත්සන්න වීමට විරුද්ධ වන ලෙසත් එක්සත් ජනපද-ඊශ්‍රායල හමුදා මෙහෙයුම් වහාම අවසන් කරන ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාත්‍යන්තර ප්‍රජාවෙන්, විශේෂයෙන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයෙන් සහ ලොව පුරා ප්‍රගතිශීලී බලවේගවලින් ගැටුම අවසන් කිරීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා සිටින්නෙමු. නොබැඳි ජාතීන්ගේ දිගු සම්ප්‍රදායක් ඇති ශ්‍රී ලංකාව, මෙවැනි පැහැදිලි ආක්‍රමණ හමුවේ නිහඬව නොසිටිය යුතු බව අප පෙන්වා දෙන්නෙමු..
අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට විරුද්ධ වන ඉරානය ඇතුළු සියලුම ජාතීන් සමඟ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය සහයෝගීතාවය නැවත තහවුරු කැර සිටින්නෙමු. මෙම ආක්‍රමණ හෙළා දකින ලෙසත්, මැද පෙරදිග ගැටුම් අවසන් කැර සාධාරණ හා කල් පවතින සාමයක් සඳහා කටයුතු කරන ලෙසත් ගෝලීය ප්‍රජාවෙන් ඉල්ලා සිටින ලෙසත්, අපි ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩු වෙන් ඉල්ලා සිටිනෙමු.
