
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉතා අමානුෂික හුදෙකලා සිරගත කිරීමකට ලක් කැර ඇතැයි පළවන තොරතුරුවල නිරවද්‍යතාව සහතික කරන ලෙස වධහිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඇලිස් ජිල් එඩ්වර්ඩ්ස් එරට රජයෙන් ඉල්ලීමක් කැර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සඳහන් කැර ඇත්තේ හිටපු අගමැතිවරයාගේ රැඳවුම් කොන්දේසි ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල විය යුතු බවයි.
වසර 2023 සැප්තැම්බරයේදී රාවල්පිණ්ඩි නුවර අඩියාලා බන්ධනාගාරයට මාරු කිරීමෙන් පසු ඉම්රාන් ඛාන් දිනකට පැය 23ක දීර්ඝ කාලසීමාවක් හුදෙකලා වන ආකාරයෙන් සිරගත කැර ඇති බවටත්, බාහිර ලෝකය සමඟ සම්බන්ධතා පැවැත්වීම බරපතළ ලෙස සීමා කැර ඇති බවටත් තොරතුරු අනාවරණය වන බව වධහිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය වැඩිදුරටත් ප්‍රකාශ කැර තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ දීර්ඝ හෝ අවිනිශ්චිත කාලසීමාවකට හුදෙකලා සිරගත කිරීම තහනම් බව ද ඇය පාකිස්තාන රජයට පෙන්වා දී තිබේ. දින 15කට අධික කාලයක් එලෙස සිදුවන්නේ නම් එය මානසික වධහිංසා පමුණුවීමක් ලෙස සැලකෙන බැවින් ඔහුගේ හුදෙකලා සිරදඬුවම වහාම ඉවත් කරන ලෙස වධහිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය පාකිස්තාන රජයට දැනුම් දී තිබේ.
(දිනමිණ ඇසුරෙන්)
