Impartial news reporting for a stronger democratic society
ඉන්දියා – අමෙරිකා නව වෙළෙඳ ගිවිසුමකට මාර්තුවේ අත්සන් තබයි

ඉන්දියාව සහ අමෙරිකාව අතර නව වෙළෙඳ ගිවිසුමක් සඳහා ලබන මාර්තුවේදී අත්සන් තැබීමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ වෙළෙඳ ඇමැති පියුෂ් ගොයාල් ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉන්දියාව අමෙරිකානු භාණ්ඩ සඳහා වන ආනයනික තීරුබදු අඩු කරනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කැර තිබේ.

එම ගිවිසුම සම්බන්ධව දෙරටේ නියෝජිතයන් ඉදිරි දින 5ක් ඇතුළත ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ,ඉන්දීය වෙළෙඳ ඇමැති පියුෂ් ගොයාල් සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙයි.

 අමෙරිකාව විසින් ඉන්දීය ආනයනික භාණ්ඩ සඳහා පනවනු ලැබූ 50%ක තීරුබදු 18% දක්වා අඩු කිරීම අනතුරුව ක්‍රියාත්මක වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කැර තිබේ. ඉදිරි වසර 5ක් ඇතුළත ඉන්දියාව ඩොලර් බිලියන 70-80 අතර ප්‍රමාණයක වටිනාකමකින් යුතු බෝයිං ගුවන්යානා ද ඇතුළුව ඩොලර් බිලියන 500ක පමණ වටිනාකමකින් යුතු භාණ්ඩ අමෙරිකාවෙන් මිලදී ගනු ඇතැයි ද ඉන්දීය වෙළෙඳ ඇමැතිවරයා සඳහන් කැර ඇත. ඉන්දියාවට පනවනු ලැබූ තීරුබදු 18% දක්වා අඩු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නිවේදනය කළ අතර, රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වනු ඇතැයි ද ප්‍රකාශ කැර තිබිණි.

අමෙරිකාවෙන් බලශක්තිය සහ ගුවන්යානා මිලදී ගැනීම ඉහළ නැංවීමට ඉන්දීය රජය අදහස් කර ඇති බවත්, ගුවන්යානා අමතර කොටස් සඳහා ඇණවුම් කිරීමට නියමිත වටිනාකම ඩොලර් බිලියන 100ක් පමණ වනු ඇති බවත් එරට වෙළෙඳ ඇමැතිවරයා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය සඳහන් කෙළේය.

එයාර් ඉන්ඩියා ගුවන්සේවයේ හිමිකරුවන් වන ටාටා සමාගම පසුගිය ජනවාරියේදී ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාවෙන් බෝයිං වර්ගයේ ගුවන්යානා 200ක් මිලදී ගැනීමට ඇණවුම් කර ඇති බවය. බෝයිං 737 මැක්ස් වර්ගයේ ජෙට්යානා 226ක් ඇණවුම් කළ බව තවත් ගුවන් සමාගමක් වන ආකාසා එයාර් සමාගම ප්‍රකාශ කැර තිබේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp