
තමිල්නාඩු මුහුදු සීමාවෙන් ඉවතට ඇදී යමින් තිබෙන දිට්වා සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ඊයේ (05) අඛණ්ඩව තුන්වැනි දිනයටත් චෙන්නායි නගරයට සහ උතුරු තමිල්නාඩු ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් හටගත් බව ඉන්දීය මාධ්‍ය සඳහාන් කරයි.
චෙන්නායි නගරයේ ප්‍රධාන පානීය ජල සැපයුම් මූලාශ්‍රයක් වන රෙඩ් හිල්ස් ජලාශයේ ජල ධාරිතාව 96% දක්වා උපරිම මට්ටම කරා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, චෙන්නායි බලධාරින් එහි වාන් දොරටු විවෘත කිරීමට සූදානමින් පසුවන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. චෙන්නායි නගරයෙන් සහ තිරුවල්ලූර් ප්‍රදේශවලින් ඊයේ අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.
අධික වර්ෂාව හේතුවෙන් තමිල්නාඩුවේ ප්‍රදේශ රැසක ජන ජීවිතය අඩාළ වි ඇති අතර, ගමනාගමනයට දැඩි බාධා සිදුවී ඇතැයි සඳහාන් වේ. නිරිතදිග බෙංගාල බොක්ක සහ උතුරු තමිල්නාඩු-පුදුචෙරි මුහුදු තීරයේ ඇති වූ පීඩන අවපාතය ක්‍රමයෙන් නිරිත දෙසට ගමන් කරන බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබූ අතර, එම නිවේදනයට අනුව අධික වැසි තත්ත්වය ඊයේ රාත්‍රිය වන විට පහව යෑමට නියමිතව තිබිණි.
