
ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට ආධාර තොග රැගත් බංගලදේශයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන්යනා අද (03) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
බංගලදේශයෙන් පැමිණි ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 9,227 ක් බරැති ඖෂධ , වියළි ආහාර , මදුරු දැල් , විපතට පත් වූවන් ගලවා ගැනීමේ උපකරණ තිබුණි .
බංගලදේශ ගුවන් හමුදාවට අයත් සී.- 130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ මෙය අද ( 03) දින පස්වරු 01.00ට බංගලදේශයේ ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බංගලදේශ මහකොමසාරිස් අන්දිලිප් ඉලියාස් මහතා එම තානාපති කාර්යාලයේ නිලධාරීන් , ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02 ක් අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ද පැමිණියහ.
මෙම ගුවන් යානා අබුඩාබි නුවර සිට එරට ගුවන් හමුදාවට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන සී.- 17 වර්ගයේ ගුවන් යානා වූ අතර, මින් පළමුවැන්න අද (03) පස්වරු 12.40 ටත් අනෙක් දෙවැනි ගුවන් යානය පස්වරු 02.40 ටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එම ගුවන් යානාවල ආපදා සහන මෙහෙයුම් සඳහා යොදා ගන්නා වාහන සහ විපතට පත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාව සඳහා ලබා දීමට විශාල ආහාර තොගයක් ද රැගෙන විත් තිබේ .
මෙම ආපාදා ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නිලධාරීන් , ආරක්ෂක අමාත්‍යාංශයේ , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
