Impartial news reporting for a stronger democratic society
ආනයනය කළ ගල් අඟුරුවල ගුණාත්මකභාවය ගැන පරස්පරතා! – බලශක්ති අමාත්‍යාංශයේ දැඩි මතභේදයක්

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගල් අඟුරු නැව්ගත කිරීමේ ලේඛනවල බරපතල පරස්පරතා පැවතීම සහ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව බලශක්ති අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නැවතත් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ගේ සභාපතිත්වයෙන් යුත් යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලක්විජය බලාගාරයේ නිලධාරීන් ඉදිරිපත් කළ තාක්ෂණික දත්තයන්හි පරස්පරතා හෙළිදරව් වීමත් සමඟ මෙම තත්ත්වය කරළියට පැමිණියේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්තාවලට අනුව, ගල් අඟුරු තොග පටවන ලද සහ බාන ලද වරායන්හි වාර්තා ලක්විජය බලාගාරයේ පරීක්ෂණ ප්‍රතිඵල සමඟ නොගැලපෙන බව හෙළි වී ඇත. 

විශේෂයෙන්ම මුල් නැව්ගත කිරීම් තුනෙහි දළ කැලරි අගය (GCV) කිලෝග්‍රෑමයකට කිලෝ කැලරි 5,900 ට වඩා අඩු මට්ටමක පැවතීම පිළිබඳව වාර්තා වීම කැපී පෙනෙන අතර, එය කාර්යක්ෂම විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතීන්ට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයකි. 

මෙලෙස අඩු කැලරි අගයකින් යුත් ගල් අඟුරු භාවිතය නිසා තාප කාර්යක්ෂමතාව අඩු වී ඉන්ධන පරිභෝජනය ඉහළ යන අතර එමඟින් විදුලි උත්පාදන පිරිවැය ද ඉහළ යන බව මෙහිදී අවධාරණය විය.

පළමු නැව්ගත කිරීමේදී සිදු වූ මූල්‍ය අලාභය සැපයුම්කරුට පනවන දඩ මුදල් මඟින් අය කර ගත හැකි වුවද, ඉන් පසුව ලැබුණු තොගවල අලාභයන් අය කර ගත නොහැකි බව විදුලිබල මණ්ඩල වාර්තා හෙළි කිරීමත් සමඟ මෙම ගැටලුව තවදුරටත් උග්‍ර වී ඇත. වගවීම සහතික කිරීමේ ක්‍රමවේදයන් මෙලෙස තෝරා බේරාගත් අයුරින් ක්‍රියාත්මක වීම සහ ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉන්දීය රසායනාගාර නිකුත් කළ සහතික, බලාගාර මට්ටමේ පරීක්ෂණ සමඟ පරස්පර වීම පිළිබඳව ද මෙහිදී මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන ලදී.( Source –Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp